Saturday, June 29, 2013

බැතිමතුන් නොයන අවාරයේ සිරිපා මළුවට මල් පුදන්නේ කවුද?

“වත්තහේනේ පියසේන අයියා කුරුවිට, ලස්ස කන්දේ පදිංචිකරුවෙකි. කිතුල් මල් මැදීම ජීවනෝපාය කරගත් හෙතෙම අඹු දරුවන් ‍පෝෂණය කළේ සමනල අඩවියේ පිහිටි කිතුල් ගස්වල මල් තලා එයින් ලැබෙන තෙල්දිය පැන් - හකුරු බවට පත් කොට විකුණා මුදල් උපයා ගැනීමෙනි.
කුරුවිට-එරත්න හරහා වැටී තිබෙන ශ්‍රී පාද මාර්ගය ආසන්නයේම වෙසෙන පියසේන අයියාට සමනල අඩවිය හරියටම තමන්ගේ මහ ගෙදරටත් වඩා හුරුපුරුදු ඉසව්වකි. ඔහුට පමණක් නොව සමනල අඩවිය අවට වෙසෙන ගම්මුන් බොහෝ දෙනකුටම සමනල අඩවිය එසේ හුරුපුරුදු ඉසව්වකි. කිතුල් මල් මැදීම, හැරුණුු කොට, දුම්මල කැඩීම, වෙනිවැල් කැපීම, ආදී වාණිජ ද්‍රව්‍ය එකතු කිරීම ජීවනෝපාය කරගත් ගැමියන් බොහෝ දෙනකුටම සමනල අඩවිය හා ගැට ගැසුණු අත්දැකීම් රැසකි.
sria-padaya
ඒ සිරිපා අවාර සමයයි. එක්තරා දිනක හිමිදිරි පාන්දරම කිතුල් මල් මැදීමට අවශ්‍ය ආම්පන්නද රැගෙන සමනල අඩවියට වැදුණු පියසේන අයියාට මැද ගැනීමට ලැබුණේ කිතුල් ගස් දෙක තුනක් පමණි. හැරපට ඔස්සේ තුන්වෙනි කිතුල් ගසට නගිමින් සිටි ඔහුගේ දෙසවන වැටුනේ ශ්‍රී පාද අඩවිය දෙසින් නොනවත්වාම නැගෙන හේවිසි, හොරණෑ හඬක් හා සාදුකාර හඬකි. මේ වන විට සිරිපා වන්දනා වාරයද අවසන්වී මාස දෙකක් පමණ ගත වී තිබුණෙන් මහ වන මැදින් ඇසෙන හේවිසි හඬ පියසේන අයියාගේ සිත තුළ ඇතිකළේ කුතුහලයකි. කිතුල් ගසේ මුදුනටම නැගගත් හෙතෙම මල් මැදීම පසෙක තබා කිතුල් පිත්තක් මත වාඩි වූයේ හේවිසි හඬ නැගෙන්නේ කුමන ඉසව්වෙන්ද දැන ගැනීමටය. මහ වනයේ තුරු මුදුන් අතුරින් හාත්පස විපරම් කර බැලූ ඔහුට පෙරහරක් තබා මිනිස් පුළුටක් හෝ දැක ගත  නොහැකි විය.
කිතුල් මල් මැදීම මඳකට නතර කර දැමූ පියසේන අයියා තෙල්දිය පිරවූ වළං කිහිපය ලඳු කැලෑවක සඟවා තබා මහ වනයේ ඉහත්තාවට පිය මැන්නේ හේවිසි හඬ නැගෙන ඉසව්ව සැක හැර දැන ගැනීමටය. ළඟ ළඟම ඇසෙන හේවිසි හඬ හා සාදුකාර හඬ සොයමින් සැතපුම් කිහිපයක්ම මහ වන මැදින් ඇවිද ගිය පියසේන අයියා හැරමිටිපාන අම්බලම අසලට පැමිණ තිබුණේ තමන්ටත් නොදැනීමය.
පලාබද්ගල ශ්‍රී පාද රජ මාවතත් එරත්න ශ්‍රී පාද මාවතත් එකට එක්වන හැරමිටිපාන තැන්නේදී කාගෙත් නෙත ගැටෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කඳු මුදුන නිල්වන් අහසේ ගෑවී නොගෑවී නැගී සිටින අයුරුත්  වරෙක සුදුවන් වළාකුලකින් වැසෙමින්ද තවත් වරෙක පැහැදිලි දසුන් මවමින්ද මතුවන ශ්‍රී පාද කඳු මුදුන ඇසට රසඳුනක්ම  ගෙන දෙන්නේය.
හැරමිටිපාන අම්බලම මිදු‍ලේ සිටිමින් ශ්‍රී පාදය දෙස ටික වේලාවක් ඇසිපිය නොහෙලා බලා සිටි පියසේන අයියා දොහොත් මුදුන්  දී ඒ දෙසට වැඳ නමස්කාර කළේය. දැන් හේවිසි හඬ ඇසෙන්නේ ශ්‍රී පාද උඩමළුව දෙසිනි. අවාර සමය බැවින් ශ්‍රී පාද උඩමළුවේ කිසිදු තේවාවක් හෝ වතාවත් සිදු නොවන බව පියසේන අයියා හොඳින් දනී. තවදුරටත් හේවිසි හඬ සොයා යාම නතර කර දැමූ ඔහු ආපසු එන්නට හැරුනේ අවාර සමයේදී සමනල අඩවියේදී අත් විඳීමට ලැබුණු තවත් අසිරිමත් අත්දැකීමක මිහිර විඳ ගනිමිනි.
වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුන් ‍පොහෝ දින සිට එළැඹෙන වසරේ වෙසක් පුන් ‍පොහෝ දින දක්වා පුරා හය මාසයක කාලයක් තිස්සේ පවතින අතර එම කාලපරාසය  “ශ්‍රී පාද වන්දනා වාරය ලෙස හැඳින්වේ. එසේම වසරේ ඉතිරි හය මසක කාලය හැඳින්වෙන්නේ “අවාරය” ලෙසිනි. මේ අවාර කාලය සෑම වසරකම වෙසක් පුන් ‍පොහෝ දින සිට උඳුවප් පුන් ‍පොහෝ දින දක්වා පවතී.
 ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවිඳුන්ගේ හඳුන් මුවා ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ වෙසක් පුන් ‍පොහොය ගෙවී යාමත් සමගම ශ්‍රී  පාදස්ථානයේ සිට පහළට වැඩම කරවීම සිදු කෙරේ. ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් “අවාරය” සමය ආරම්භ වීමත් සනිටුහන් වන්නේද ඒ සමගමය. සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ පහළට වැඩම කරවීමත් සමග ශ්‍රී පාද පද්මය සහිත කුටියේ දොරගුළු දමා වසා දැමෙන අතර පූජනීය පර්වතය වටා ඇති උඩමළුවට පිවිසෙන පිවිසම් දොරටුද ඉබි යතුරු දමා වසා දමන්නේ ශ්‍රී පාද කාර්ය මණ්ඩලය විසිනි. වන්දනා වාරය sria-padaya1නිමාවත් සමගම උඩමළුවේ විදුලි පහන් නිවා දැමීමත් අමතර ජල හා විදුලිය සැපයුම් විසන්ධි කිරීමත් සිදුවේ.
පුරා හය මාසයක කාලයක් තිස්සේ දිවා රාත්‍රී්‍ර දෙකෙහිම දහස් ගණනින් ජනතාව ගැවසුණුු ශ්‍රී පාද උඩමළුව ඉන්පසු පාළුවට යන අතර පහත මලුවේ ඉතිරි වන්නේ ශ්‍රී පාදස්ථානයේ දේපළවල ආරක්ෂාවට පත් කර සිටින මුරකරුවන් දෙදෙනා පමණි.
ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා ප්‍රධාන මාර්ග දෙපස ඉදිකර තිබෙන ආපන ශාලා වෙළෙඳසල් හා නවාතැන් පහසුකම් සහිත හෝටල්ද වන්දනා වාරය නිමාවීමට සති කිහිපයකට පෙර දීම වසා දැමීම ඒවායේ හිමිකරුවන්ගේ සිරිතය. ජල විදුලිය විසන්ධි කිරීමටත් වඩා වන්දනාකරුවන්ගේ නොපැමිණීම ඊට හේතුව වී තිබේ.
සිරිපා අවාර සමය එළඹෙත්ම සමනල අඩවිය ජන ශුන්‍ය කලාපයක් බවට පත් වුවද මේ කාලය තුළ තවත් පිරිසක් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට පැමිණෙන බවට සමන් දෙයියන්ගේ අඩවියේ ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයකි. ශ්‍රී පාද අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන් ප්‍රධාන සම්‍යයක් දෘෂ්ටික දෙවියන් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට සහපිරිවරින්ම පැමිණෙන්නේ අවාර සමයේදී බව ජනතාව විශ්වාස කරති. මේ දෙවියන්ගේ පැමිණීම අදෘෂ්‍යමානව සිදුවුවද ඒ පිළිබඳව විශ්වාසය තහවුරු කෙරෙන සිද්ධීන් හා අත්දැකීම් සමන් දෙවි අඩවියේ ජනතාව තුළ අපමණ තිබේ.
සිරිපා වන්දනා වාරය නිමාවට පත් වීමත් සමගම ධාරාණිපාත මහවැසි ඇදහැලී සිරිපා මලුව හා මංමාවත් සති ගණනාවක් තිස්සේ සේදී පවිත්‍ර වන්නේ මිනිසුන්ගේ පහසින් අපවිත්‍රව ඇති කිලි, කුණු සේදී යාමට බව පැවැසේ. ඉන්පසු දෙවියන්ගේ පැමිණීමට සුදුසු වටපිටාවක් සොබාදහම විසින්ම නිර්මාණය කර දෙන බවද ජනතාව විශ්වාස කරති.
අවාර සමය උදාවත්ම සිරිපා අඩවියේ සොබාවික සංසිද්ධීන් හා කාලගුණ තත්ත්වයන්වලද විශාල වෙනස්කම් රැසක් සිදුවේ. නිරන්තරයෙන්ම පවතින ධාරාණිපාත වර්ෂාව, කුණාටු සහිත තත්ත්වයන්, අධික මීදුම සහිත සීතල, අකුණු ගැසීම් හා දැඩි සුළං තත්ත්වයන් මේ පාරිසරික විපර්යාසයන් අතර ප්‍රධානය. මේ සමයේ සමනල අඩවියට ඇද හැලෙන ධාරාණිපාත වැසි නිසා සියලුම ගමන් මාර්ග දොළ පාරවල් බවට පත් වන්නේ ඉබේටමය.
වර්ෂය පුරා හය මසක කාලයක් බැතිමතුන්ට ඉඩදී වෙනත් ඉසව්කරා ගොස් සිටි අපා, දෙපා, සිවුපා සතුන් සියලු දෙනාමත් තම නිජ භූමිය කරා නැවත පැමිණෙන්නේද මේ අවාර සමය උදාවෙත්මය. සුමන සමන් දෙවිඳුන්ගේ වාහනය සේ සැලකෙන ඇලි ඇතා තම පිරිවරද සමගින් පැමිණ සම්බුදු සිරිපා වන්දනය කරන බවද තවත් විශ්වාසයකි. මේ කාලය තුළ වෙනත් අවශ්‍යතා සඳහා සමනල අඩවියට යන එන බොහෝ දෙනකුට ඇහැල කණුව නැමැති ස්ථානය දක්වාම අලි ඇතුන්ගේ වසුරු වැටී තිබෙන අයුරු දැකගත හැකි වේ. “සමන් දෙයියන්ගේ සුදු ඇතා පද්මේ වඳින්න එන්නේ මේ කාලෙට යැයි ගැමියන් මහත් ගෞරවයෙන් පවසන අතරේ සුදු පැහැයට සමාන අළු පැහැයෙන් යුත් ඇතෙකු සමනල අඩවියේ සිටින බව ශ්‍රී පාද වනජීවී නිලධාරීන්ද වරෙක ඡායාරූප සහිතව තහවුරු කර තිබුණි.
කුමන හේතුවක් නිසාවත් අවාරය සමයේ සිරිපා අඩවියට යාමට අපේ පැරැන්නන් කැමැත්තක් නොදැක්වූහ. ඊට බලපෑ හේතු රාශියකි. වර්ෂාව, අධික සීතල, අකුණු සර, ආදියටත් වඩා ඔවුන් මෙහිදී බිය වූයේ අදෘෂ්‍යමාන බලපෑම්වලටය. හදිසියේ හෝ අවාරයේදී සිරිපා අඩවියට ගිය අයෙක් ඇත්නම් ඔහුට නොයෙක් අඩ්කෝඩවලට මුහුණ පෑමට සිදුවන බවත්, අලි, කොටි, වගවලසුන්ට හෝ ගොදුරක් වන බවත් සමනල අඩවියේ ජනතාව අත්දැකීමෙන් දනිති.
කරුණු එසේ වුවද අපේ රට සුදු ජාතිකයන් පාලනය කරන අවධියේ පටන් විදේශිකයන් රැසක්ම අවාරයේදී සමනල කන්ද තරණය කර තිබේ. එපමණක් නොව ඔවුන් ඒ ගමන්වලදී මුහුණදුන් අත්දැකීම් පිළිබඳවත් අසිරිමත් සිදුවීම් පිළිබඳවත් දින සටහන්ද තබා ඇත. හුදෙක් පරිසරය පිළිබඳව ගවේෂණය කිරීමේ අරමුණින් හා කඳු තරණය කිරීමේ අරමුණින් සිරිපා කන්ද තරණය කර ඇති මේ විදේශිකයින්ගෙන් ඇතැම් අයද අදහාගත නොහැකි සිදුවීම් සමනල අඩවියේ සිදුවන බවට තැබූ සටහන් ද ඒ අතර වේ.
රත්නපුර දිසාව පාලනය කළ සුදු ඒජන්තවරයකු වූ හර්බට් වේස් (1887) මහතා මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ආර්.එන්.තේන් R.N.Thaine, ආර්.බි.හේලිස් R.B.Helis යන උප ඒජන්තවරුන්ද එසේ අවාර සමයේ සිරිපා කන්ද තරණය කෙරුවෝ වෙති. අදින් වසර 143කට පෙර අවාර සමයේ සමන්ගිර තරණය කළ එච්.එස්.ඕ.රසල් (H.S.O.Rasal) මහතා ශ්‍රී පාද උඩමළුවේදී තමන් මුහුණ දුන් අත්දැකීමක් සිය දින‍පොතේ සටහන් කර තිබේ. ඔහු සිරිපා මලුවට පිවිසෙන අවස්ථාවේ සුදුවතින් සැරසුණු කිහිප දෙනකුම පූජනීය පර්වතය දෙසට වැඳගෙන සිටි බවත් නිමේෂයකින්ම ඔවුන් නොපෙනී ගිය බවත් එම සටහනින් කියැවේ.
රත්නපුර, මාපලානේ පදිංචි වඩුමානගේ ඩේවිඩ් මහතා වසර ගණනාවක් තිස්සේ අවාර සමයේ ශ්‍රී පාද උඩමළුවේ මුරකරුවෙකු ලෙස සේවය කළ අයෙකි. දැනට වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන ඔහු සතුව ඇති අත්දැකීම් රාශියකි.
අවාර කාලයට පුදුම විදියට උඩමුළුවේ සත්තු බෝ වෙනවා. දහස් ගණනක් මීයෝ බෝවෙනවා. ඒ වගේම පණුවෝ, මැස්සෝ, කැර‍පොත්තෝ වගේ කෘමි සත්තු දසදහස් ගණනින් එනවා. හරියට කූඩුවක ඉඳල එළියට දැම්ම වගේ. ඒ වගේම බතක් මාළුවක් ඉව්වාම ළිපේ තියෙද්දීම කන්න ඕනෑ. බිමට බාල කන්න බැහැ. බත් හැලියේ පණුවෝ ගහනවා. උඩමළුවේ මිනිස් පුළුටක්වත් නැතිව තියෙද්දී හඳුන් කූරු පත්තු කරපු සුවඳ එනවා, සාධුකාර දෙන, ගාථා කියන හඬ ඇසෙනවා. ඒ වෙලාවට අපි දොරක් ජනේලයක්වත් අරින්නේ නැහැ. සමහර දවසට උදේ බලපුවහම පද්මේ තියෙන තැන පහළ මලුවේ දුර්ලභ ගණයේ කඩුපුල්, දෝතලු වගේ මල් පූජා කරල තියෙනවා පේනවා. නමුත් ආපු කෙනෙක් ඇස් දෙකට දකින්න නැහැ” ඩේවිඩ් මහතා පවසන්නේ කුතුහලය මුසු වූ හැඟීමකිනි.
අතීතයේ අපේ මුතුන් මිත්තන් අවාර සමයේ සිරිපා කරුණා කිරීම කිසිසේත්ම සිදු නොකළද වර්තමානය වන විට අවාරයේ සමන්ගිර තරණය කිරීමට
පෙළඹෙන පිරිස් බොහෝය. ඒ අතර විදේශිකයින් මෙන්ම ස්වදේශිකයින්ද සිටිනු පෙනේ. “අවාරයේ සිදුවීම් පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඩුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ දැක්වූ අදහස් මෙසේය. “වෙසක් ‍පොහොයෙන් පස්සේ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව උඩමලුවෙන් පහළට වැඩමවලා මලුව වහනවා. ඉන්පසු කිසිම තේවා කටයුත්තක්, පුද පූජාවක් සිදුකරන්නේ නැහැ. හැබැයි සෑම පසළොස්වක ‍පොහෝ දිනකම පහන් දල්වා ආගමික වතාවත් සිදුකරනවා. ඒ හැර වෙන කිසිදෙයක් සිදුවන්නේ නැහැ. අවාර සමය තුළදී ගල්‍පොත්තාවෙල ශ්‍රී පාද විහාරයේදී මේ පූජා වස්තූන්වලට පුද පූජා පවත්වනවා. බැතිමතුන්ට භාර හාර වීමට ඉඩකඩ සලසා තිබෙනවා. තවුස්දම් රකින, බවුන් වඩන පුද්ගලයින් සිරිපා අඩවියේ ඕනෑ තරම් ඉන්නවා. ඇතැම් අවස්ථාවල ඒ අය බොහෝ අසිරිමත් සිදුවීම් උඩමළුවේදී දැක තිබෙනවා. මිනිසුන් සිරිපා වන්දනාවේ යන කාලය වාරය නම් මිනිසුන් නොයන කාලය අවාරය වෙනවා. අපේ පැරණි මුතුන්මිත්තන්ට පරිසරය, සොබාදහම, කාලගුණය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔවුන් ස්වාභාවික විපත් අධික කාලය වන්දනාවට තෝරා ගත්තේ නැහැ. ඒ කාලය වන සතුන්ට නිදහසේ ඉන්න ඉඩදීලා ගහකොළවලට වැඩෙන්න ඉඩදීලා නිකන් හිටියා. අදටත් ඕනෑම කෙනකුට අවාරයේදී සිරිපා කරුණා කරන්න තහනමක් නැහැ. පරිසරය ගැන හදාරන, පර්යේෂණ කරන අය ඕනතරම් යනවා. හැබැයි සමහර අය පියවි සිහියවත් නැතිව පහළට ආපු අවස්ථා තියෙනවා. අන්තිමේදී ඒ අයවත් දන්නේ නැහැ ඒ අයට උනේ මොකක්ද කියලා. කොහොමත් ශ්‍රී පාද පද්මය සහිත සමනල අඩවියට අදෘෂ්‍යමාන බලවේගවල ඇල්ම බැල්ම රැකවරණය තියෙනවා. එවැනි අවස්ථා අපිට අත්විඳින්න ලැබුණු වාර අනන්තයි. ඒවා වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ජනතාව අතර තියෙන විශ්වාසය තමයි සැබෑ විශ්වාසය. පිහිට වන්නේත් ඒ අචල විශ්වාසයම පමණයි.

විජ්ජා ලෝකයේ දැවැන්තයකු හෙළි කරන මැජික් ශිල්පයේ අප්‍රකට රහස්

4-1යථාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාවකින් තොර වූ ළමුන්ටත්, ලාස් වේගාස් නුවර සංචාරකයන්ටත්   විනෝදාස්වාදය උදෙසා කැපවූ විෂය ක්ෂේත්‍රයක් ලෙසට හංවඩු ගැසී තිබුණු මැජික් ශිල්පය පසුගිය පස් අවුරුදු කාලයක 4-2සිට විද්‍යා ක්ෂේත්‍රය තුළ හිමිකර ගෙන ඇති ගෞරව සම්ප්‍රයුක්ත ජනප්‍රියත්වය පුදුම එළවනසුලුය. තිස් වසරකට අධික කාලයක සිට රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලාස් වේගාස් හි සජීවී ලෙසද මැජික් සංදර්ශන පවත්වමින් මැජික් ක්ෂේත්‍රයේ නමගිය විජ්ජාකරුවන් දෙපළක් ලෙස ප්‍රකට රේමන්ඩ් ජෝසප් ටෙලර් හා පෙන් ජිලට් අතුරින් මැජික් ශිල්පයේ මතෛක් කිසිදා හෙළි නොකෙරුනු එහි ජීව ප්‍රාණය බඳු වූ රහස් කීපයක් පළමු වරට හෙළිකිරීමට පසුගිය දිනකදී ඉදිරිපත් වූයේ ජෝසප් ටෙලර්ය. ඒ විද්‍යා ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ස්නායු විද්‍යා ක්ෂේත්‍රය තුළ මෑතක සිට මැජික් ශිල්පයට හිමිව ඇති අනපේක්ෂිත අවධානය කෙතරම්ද යත් ස්නායු විද්‍යාව හා මිනිසාගේ අවබෝධතා ශක්තිය සම්බන්ධයෙන් දේශන සිදු කිරීමට ඔහුට ලැබෙන ආරාධනයන් දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසය. මැජික් ශිල්පයට හදිසියේ හිමි වූ මෙම ජනප්‍රියත්වයට හේතු දක්වමින් වරෙක ඔහුගේ මිතුරු විද්‍යාඥයකු පවසා ඇත්තේ පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දෙන්නවුන් විද්‍යාගාර මීයන්ට වඩා මැජික් ශිල්පීන් වඩාත් ආකර්ෂණීය ජීවී කොට්ඨාසයක් ලෙසට සැලකීම මීට හේතුව බවයි.
4-3විද්‍යාවට කෙරෙන උපකාරයක් ලෙස මැජික් ශිල්පය සම්බන්ධයෙන් තමාගේ දැනුම සිය මිතුරු විද්‍යාඥයා හා බෙදා හදාගත් ටෙලර්ට කෘතගුණ සලකුණු වස් සිය විද්‍යාගාරයේ වූ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ (ර්අ) යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය විද්‍යාඥ මිතුරා විසින් පැහැදිලි කරමින් විශ්වාසයෙන් යුතුව ප්‍රතිඥා දෙන ලද්දේ අනාගතයේ දිනක මෙබඳු උපකරණ තමාව (ටෙලර්ව) වඩාත් දක්ෂ මැජික් ශිල්පියකු බවට පත් කිරීමට එය උපකාර වනු ඇති බවයි. ඇත්තෙන්ම එය සැක සහිතය.
4-4ස්නායු විද්‍යාඥයින් යනු උපායශීලී ලෙස රැවටීමට ලක් කිරීමෙහිලා අත්දැකීම්වලින් තොර වූ නවකයන් වන අතර මැජික් ශිල්පීන් යනු වසර දහස් ගණනක සිට මානව අවබෝධතා ශක්තිය
පිළිබඳව පාලක පරීක්ෂණයන් හි නියැළුණන් බව කීම මුසාවක් නොවේ. වරෙක තමා එකොළොස් හැවිරිදි වියේ පසුවත්දී බාලදක්ෂයන් විසින් ඉදිරියේ මැජික් පෙන්වීමෙහි නියැළුණු කුඩා ටෙලර් ඔවුන්ගේ ඇස් වසා කුඩා මාළු ටැංකියක් රෙදි කඩකින් මුවා කිරීමට දැරූ තැත වැරදී ගිය කල එම්.ආර්.අයි. විද්‍යාගාරයක පිහිටෙන් එදා ඔහුට සරදම් ලෙස එල්ල වූ ගල් පහරවලින් මිදීමේ හැකියාව තිබුණේ නම් තමා එසේ කිරීමට නොපැකිලෙන බව ටෙලර් පවසන්නේය. නමුත් සැබැවින්ම විජ්ජා උපක්‍රම යනු යන්ත්‍ර ආධාරයෙන් හඳුනා ගත හැකි වූවක් හෝ මිනිස් සංවේදනා හා සම්බන්ධ යාන්ත්‍රික විද්‍යාවක් හෝ නොව
ප්‍රේක්ෂකයන්ගේ අවබෝධතා ශක්තිය, හැසිරවීම හා සංවේදන ඉන්ද්‍රීන්ගෙන් ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම යන සියල්ලන්ගේ සංකලනයක්ම වන බැවිනි. මිනිසා සතු එකී අවබෝධතා ශක්තියේ විචලනයන් සිදු කිරීමට විජ්ජාකරුවන් සතු හැකියාව මත මැජික් ශිල්පයේ සාර්ථකත්වය මුළුමනින්ම රැඳී පවතින අතර පහතින් වනුයේ පෙන් විසින් පෙන්වා දෙන එබඳු විජ්ජා උපක්‍රමයන් කීපයකි.
1. හඳුනාගැනීමේ රටාවෙන් උපරිම ඵල නෙළීම
4-5සිය අතක පිටිඅල්ල ප්‍රේක්ෂකයා දෙසට හරවා සිටිමින් රිදී පැහැ ඩොලර් කාසි හතරක් විජ්ජා බලයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාපාන ටෙලර් පස් වැනි කාසියක්ද එයාකාරයටම ගෙනහැර පෑමට ප්‍රථමයෙන් සිය අත්ල සිය ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට සලස්වනුයේ එහි කිසිවක් නැති බව කාටත් ඇඟවීමටයි. හොමෝ සේපියන්වරුන්ට උත්පත්තියෙන් උරුම වූ සහජ බුද්ධිය ඇසුරෙන් ප්‍රේක්ෂකයා එකී රටාව හඳුනා ගනුයේ කාසි පහම මවා පෙන්වන ලද්දේ හිස් අත්ලකින් බවය යන විශ්වාසය පෙරදැරිවය.
2. විජ්ජාවේ සැබෑ වටිනාකමට වඩා වැඩි කැපවීමක් එය සාර්ථක කර ගැනීමට දරන්න
ඔබ ආයෝජනය කිරීමට බලා‍පොරොත්තු වනවාට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක්, පුහුණුවක් හා මුදලක් කිසියම් විජ්ජා උපක්‍රමයකට වැය කිරීමට ඔබ සූදානම් නම් එවැන්නක් අතිසාර්ථක වන බව කිසිදු සැකයක් නැති බව මැජික් ශිල්පී ටෙලර්ගේ අදහසයි. ඊට නිදසුනක් ලෙස සිය සගයා වන පෙන් සමග ඉදිරිපත් වූ ‘ඩේවිඩ් ලෙටර්මන්ගේ’ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මේසය මත වූ තොප්පියකින් සජීවී කැර‍පොත්තන් පන්සියයක් පිටතට ගත් අවස්ථාව සිහිපත් කරමින් ටෙලර් පවසනුයේ බැලූ බැල්මට සරල යැයි හැඟෙන එම උපක්‍රමය සඳහා ඔවුහු සති ගණනක් කැපවූ බවය. කීට විද්‍යාඥයකුගේද සහය ඇතිව කැමරාව ඉදිරියේ සුහදශීලීව හැසිරෙන සෙමින් ගමනේ යෙදෙන (විශේෂ පුහුණුවකින් යුතු) කැර‍පොත්තන් සමූහයක් තෝරා වෙන්කර ගත් පෙන් හා ටෙලර් හට මුවින් නොබැණ මෙම පිළිකුල් සහගත කෘමීන් සිය නිරුවත් දෑතින් ඇල්ලීමටද විශේෂ පුහුණුවක් ලැබිමට  සිදුවිය.
එමෙන්ම ඔවුන්ව රැඳවීම සඳහා තොප්පිය තුළ විශේෂිත රහස් කුටියක් තැනීමටද ඔවුන්ට සිදුව තිබිණි. නියත ලෙසම විජ්ජාවේ සැඟවුණු රස මිහිර නොදන්නා
ප්‍රේක්ෂක අපට මෙබඳු සුළු සංසිද්ධියක් වෙනුවෙන් දරන මේ සා මහත් වූ පරිශ්‍රමය වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොපෙණුනද විජ්ජාකරුවන් යනු සිය සාර්ථකත්වය වෙනුවෙන් ඕනෑම අන්තයකට වුවද යෑමට නොපසුබට වන්නන් පිරිසක් බව අපට වටහා ගත යුතුය.
3. සිනහව, තර්කානුකූලව සිතීමට බාධාවකි
පෙන් හා ටෙලර් දෙපළගේ විජ්ජා දස්කම්වල ඇති ඔවුන්ගේ අනන්‍යතාව හඟවන සුවිශේෂීත්වය වනුයේ ප්‍රහසනාත්මකව සිය විජ්ජා උපක්‍රම ඉදිරිපත් කිරීමයි. සිනහවෙන් කුල්මත්ව සිටින්නකුගේ මනසට තාර්කිකව සිතීමේ හැකියාව නොමැති බව වටහාගෙන සිටින පෙන් ද ටෙලර් දෙපළ සිය ඇස් බැන්දුමේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් වසා සිදුකළ යුතු සීරුමාරු කිරීම හැමවිටම ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමක් අතරතුරදී සිදු කිරීමට පරෙස්සම් වන්නේය.
4. ප්‍රේක්ෂක මනස රැවටීමට අවම ලෙස එකවර  උපක්‍රම දෙකක් හෝ භාවිතා කිරීම
ටෙලර් හා පෙන් විසින් ලාස් වේගාස් හි ඉදිරිපත් කරනු ලබන බොහෝ සංදර්ශනවලදී නරඹන්නන් මවිත කරවන තවත් අපූරුම අංගයක් වනුයේ පුහුණු සුනඛයකු මෙන් ක්‍රියාශීලීව දස්කම් දක්වන අජීවී (එහෙත් සජීවී ලෙස දස්කම් පාන) බෝලයකි. ප්‍රේක්ෂකාගාරයේ සිට කිසිසේත් දැකීමට නොහැකි තරම් සියුම් වූ රැහැනකින් වෙහෙස වනු ලබන බෝලය ලී වළල්ලක් තුළින් කිහිප වාරයක් පනිමින් පණ ඇති සත්වයකු ලෙස හැසිරෙන්නේ බලා සිටින්නකුට එය නූලකින් මෙහෙයවනු ලබන බවත් සිතීමට හෝ අවකාශ නොදෙමිනි. එය නූලකින් මෙහෙයවනු ලබන බවක් යමෙකුට ආරම්භයේදී සිතුණද වළලු දස්කම් මගින් එකී ආරම්භක සිතුවිල්ල අහෝසි කර දමන්නේ එවැන්නන් කිසිසේත් නූලක් ආධාරයෙන් සිදුකළ නොහැකි බව කාටත් හැඟී යන පරිදි ඉතාම කාර්යශූර ලෙස ටෙලර් විසින් බෝලය මෙහෙයවන නිසාය. ඒ මාස දහඅටක් පුරා දැඩි කැපවීමෙන් යුතුව සිදුකරන ලද පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
5. උපක්‍රමය රාමුවෙන් පිටතට ගැනීම
මැජික් සංදර්ශනයක් අතරතුරදී සිය පිට කබාය උනා පසෙකට විසි කරන ටෙලර් සිය කමිස සාක්කුවෙන් පිටතට ගනුයේ විශාල මකුළුවෙකි. කබාය උනා දැමීම ප්‍රේක්ෂකයා වටහා ගත් ආකාරයට ටෙලර් විසින් සිය පහසුව තකා සිදුකරන ලද්දක් නොව එකී මුවාවෙන් මකුළුවා පිටතට ගැනීමට සිදුකළ උපක්‍රමයකි.
6. ඔබ ඔබටම කියාගන්නා බොරුව හැර ඔබ රවටන අන් යමක් තවත් නොමැත
ටෙලර් විසින් ඉහත සඳහන් කළ ඔහුගේ මැජික් බෝලය සම්බන්ධ ඇස්බැන්දුමට පදනම සපයන ලද්දේ 1907 වසරේදී ඩේවිඩ් පී. ඇබට් නම් වූ ඔමාහා විජ්ජාකරුවා විසිනි. දක්ෂ විජ්ජා ශිල්පියකු වූ ඇබට්ගේ ප්‍රකට සංදර්ශන අංගයක් වූයේ රත්‍රන් පැහැති බෝලයක් ඔහු වටා නිදැල්‍ලේ පාවීමට සැලැස්වීම වූ අතර සිය සංදර්ශනය නිමවීමෙන් පසුව මෙම
සුවිශේෂී බෝලය අමතක වීමෙන් සංදර්ශන කුටිය තුළට දමා ගිය වාර බොහෝය. ඇබට්ගේ විජ්ජා දස්කම් දැකීමෙන් අපමණ පුදුමයට පත්ව සිහි
එළවාගත නොහැකිව සිටින කුතුහලයෙන් පිරුණු
ප්‍රේක්ෂකයන් වේදිකාවට පැමිණ මෙම
සුවිශේෂී විජ්ජාවට බඳුන් වූ බෝලය සියතින්ම අතගා බැලීමට මැලි නුවූවා සේම අධික බරකින් යුතු එවැන්නක් එසේ නිදැල්‍ලේ පාවෙන්නේ කෙසේදැයි කියා ප්‍රසිද්ධියේ මවිත වීමටද පසුබට නොවූහ. නමුත් ඇත්තෙන්ම විජ්ජාව සඳහා යොදා ගන්නා ලද බෝලය 140ඨ ක් වැනි අඩු බරැති සැහැල්ලු වූවක් වූ අතර ඇබට් විසින් ඕනෑකමින්ම අතපසු කොට දමා යන ලද බෝලය එහි අධි බර ඇති අනුරුවක්ම පමණක් විය.
වටහාගත යුතු කරුණ නම් මැජික් ශිල්පියෙකු විසින් ඔබටම යමක් අතපත ගා නිරීක්ෂණය කිරීමට ඉඩ දේ නම් ඉන් ඔහුගේ බොරුව බිඳලිය නොහැකි ලෙස ස්ථාවර වන බවය.
7. ප්‍රේක්ෂකයාටම යම් තේරීමක් කිරීමට ඉඩදීම යනු තමා ස්වාධීනව ක්‍රියා කළ බව ඔහුට ඇඟවීමකි
විජ්ජා ශිල්පියා හා සම්බන්ධ අඳුරුම තේරුම් ගැනීමට අපහසුම මනෝවිද්‍යාත්මක රහසක් ලෙස ටෙලර් විසින් හඳුන්වනු ලබන මෙය පැහැදිලි කිරීමට ඔහු විසින් කරදාසි කුට්ටමක් ඇසුරෙන් කළ විජ්ජාවක් පියවරෙන් පියවර පැහැදිලි කරනුයේ හෝ සඳහන් කළ සියලුම රහස් ප්‍රායෝගිකව යොදන අයුරු එකම විජ්ජාවක කැටිකර දක්වමිනි.
විජ්ජාව - කඩදාසි කුට්ටමක් ගන්නා ටෙලර් ප්‍රේක්ෂකයා ඉදිරියේ එය කීප වරක් හොඳින් කලවම්කොට තවත් කීප වාරයක් කපනුයේ එහි ඇති එකිනෙකට වෙනස් කරදාසි නරඹන්නාට පැහැදිලිව දිස්වන අයුරිනි. ඉන්පසුව කරදාසි කුට්ටමේ මුහුණත් පහළට සිටින සේ හරවා ඉන් තමන් කැමති කරදාසියක් තෝරා ගැනීමට නරඹන්නකුට ඉඩ හරින ටෙලර් එහි තවද එකී ප්‍රේක්ෂකයා වෙතින්ම අසා ගන්නේය. (උදා හාරත රැජිණ) ඉන් අනතුරුව එකී කරදාසි සියතට ගන්නා ටෙලර් එය සිය මුවේ රඳවාගෙන සපා ඉතා අපහසුවෙන් යුතුව එය ගිලින ආකාරයත් එය සිය උදරය වෙත ගොස් ජීර්ණය වී රුධිරය ඔස්සේ සිය දකුණු පාදය වෙත යන අයුරු පෙන්වමින් විසුලු සහගත රංගනයක යෙදෙන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරේ ගිල්වමිනි.
සිය දකුණු පාදය ඔසවා පෙන්වන ටෙලර් එහි වූ පාවහන් ඉවත් කොට ‘හාරත රැජිණ’ ඉවතට ගැනීමට කාඩ්පත තෝරා දුන්
ප්‍රේක්ෂකයාට ඉඩ හරිනුයේ සියල්ලන් මවිතයට පත් කරමිනි. එසේම ටෙලර් විසින් විජ්ජාව සඳහා යොදාගත් කඩදාසි කුට්ටම දැක ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබුණෙහොත් ටෙලර්ගේ දකුණු පාදයෙන් මතුවූ හාරත රැජිණ එහි නොමැති බවද ඔහුට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
විජ්ජාවේ සැඟවුණු රහස සියල්ලටම පෙරාතුව මෙබඳු තාත්වික ඇස්බැන්දුම් සඳහා පෙර සූදානම අත්‍යවශ්‍යය. හාරත රැජිනක් සිය දකුණූ පාවහන තුළටද ඉස්කෝප්ප ආසියා කොළයක් සිය වම් පාවහනටද කාලාබර තුනක් සිය පසුම්බියටද රුවා ගන්නා ටෙලර් එකී කරදාසි පත් තුනෙහි පිටපත් පමණක් ආධාරයෙන් සම්පූර්ණ කරදාසි කුට්ටමක් නිර්මාණය කර ගන්නේ ඒ සඳහා කරදාසි කුට්ටම් දහඅටක් වැය කරමිනි. (නො. 2 වටිනාකමට වඩා වැඩි වියදමක් සාර්ථකත්වය වෙනුවෙන් දැරීම) කාඩ් කුට්ටම කිහිප වාරයක් කැපීමට ලක් කරන ටෙලර් ඒ තුළ වන එකිනෙකට වෙනස් කාඩ් පත් තුන ප්‍රේක්ෂකයාට දැකගැනීමට ඉඩ හරින අතර නරඹන්නාගේ නිගමනය නම් එයද එකිනෙකට වෙනස් කාඩ්පත් පනස් දෙකකින් යුතු සාමාන්‍ය කඩදාසි කුට්ටමක් බවය. (නො (1) හඳුනා ගැනීමේ රටාව) ඉන් කාඩ්පතක් තෝරා ගන්නා ප්‍රේක්ෂකයා සිතනුයේ තමන්ට තෝරා ගැනීමක් සිදු කිරීමටද අවස්ථාවක් ලැබුණු බවයි. (නො. (7) තෝරා ගැනීම යනු නිදහස නොවේ) ප්‍රේක්ෂකයා විසින් තෝරා දුන් කාඩ්පත ප්‍රේක්ෂකාගාරයේ සිනහ හඬ මැද ගිල දමන ටෙලර් (නො. (3) සිනහාව තර්කානුකූල සිතීමට බාධාවකි) එය සිය දකුණු වම් පාදය වෙත ගමන් කළ බව අඟවමින් සිය පාවහන තුළ වන හාරත රැජිණගේ කාඩ්පත පිටතට ගැනීමට එය තෝරා දුන්
ප්‍රේක්ෂකයාටම ආරාධනා කරන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම පාවහනෙන් මතුවන කාඩ්පත දෙස විස්මයෙන් මුව අයා බලා සිටින අස්වැසිල්ලෙන් තමා මතෛක් භාවිතා කළ කාඩ්පත් තුනක අනුපිටපත්වලින් පමණක් සමන්විත කඩදාසි කුට්ටම සාමාන්‍ය කුට්ටමකට ක්ෂණිකව හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලබා ගනිමිනි.  (නො. 4 උපක්‍රම දෙකක් සංයෝජනය කිරීම) මෙම කුට්ටමද ටෙලර් විසින් සඟවා ගනු ලැබූ පෙර කී කාඩ්පත් තුන කල් ඇතිව ඉවත් කරන ලද්දකි. අනතුරුව එකී කඩදාසි කුට්ටමද ප්‍රායෝගශීලී ටෙලර් විසින් කුතුහලයෙන් මඩිනු ලැබූ
ප්‍රේක්ෂකයා අතට පත් කරන්නේ ඔහුටම එය පරීක්ෂාකොට බලා තමා විසින් ටෙලර්ගේ පාදයෙන් මතු කරගත් කාඩ්පත එහි නොමැති බව සැකහැර තහවුරු කර ගැනීමටය.
(නො. 6 ඔබ ඔබටම කියා ගන්නා බොරුව) සංගීතය, සිතුවම්කර්මය හෝ කාව්‍ය නිර්මාණකරණය සේම විජ්ජා ශිල්පයද සෞන්දර්යත්වයෙන් අනූන වූ සුන්දරත්වය හඳුනන විෂය ක්ෂේත්‍රයක් බව ටෙලර්ගේ පිළිගැනීමක් වුවද ඒ සෑම විජ්ජා උපක්‍රමයකම අවසන් හරය වනුයේ ප්‍රේක්ෂකයාගේ අවබෝධතා ශක්තිය උරගා බැලීමය. එනම් සිහි උපක්‍රමය ප්‍රේක්ෂකයා මුළුමනින්ම රැවටීමට ලක් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේද යන්නයි. වසර ශතවර්ෂ ගණනාවක් පැරණි දත්ත සාම්පලයන්ට හිමිකම් කියන විජ්ජාකරුවන්ගේ විජ්ජා ශිල්පයන් යථාර්ථයක් බවට පත්වන තුරුම සිටින වාරයක් අසීමිත පිරිසක් විසින් චිරාත් කාලයක් මුළුල්‍ලේ අනුකරණයට ලක්කොට තිබෙන්නකි. එවැනි වූ ඓතිහාසික පාරම්පරික අත්දැකීම්වලින් සපිරි විජ්ජා කර්මයද ස්නායු විද්‍යාව අතර වත්මනෙහි ස්ථාපනය කිරීමට උත්සාහ දරන මෙම අපූරු සබැඳියාව සම්බන්ධයෙන් කිව යුතු වන්නේ දැනුමෙන් පරිපූර්ණ යැයි සිතා සිටින මෙම ස්නායු විද්‍යාඥයින් පස් සාම්පල එකතු කරමින් සිටින්නේ විජ්ජාකරුවන් විසින් සියවස් ගණනාවකට එපිට සිට සිතියම් ගතකොට කැණීම් කටයුතු සිදුකරන ලද දැවැන්ත කඳු වැටියක් බඳු විෂය පරිචයක් පිළිබඳව බවයි

ඉගෙනගන්න සල්ලි නැතිව කොන්ක්‍රීට් අනන සරසවි ශිෂ්‍යයොත් ඉන්නවා

Compas
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනා  විවිධ අදහස් මතු කළහ. මෙවැනි සිද්ධියක් අසන්නට ලැබුණු විට ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන මුල්ම අදහස වන්නේ දිවි නසාගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් කඩ වීම විය හැකි බවය. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අනේක විධ ගැටලු අතරේ ප්‍රේම  සම්බන්ධතා කඩ වීම යනු එක් ගැටලුවක් පමණි.
අපේ රටේ වසරකට දළ වශයෙන් හාරදහසක් පමණ සියදිවි හානි කර ගනිති. වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ වැඩිපුරම සියදිවි නසාගන්නේ තරුණ පිරිස ය. එය කෙසේවත් නොතකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.
සරසවි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ගැන සලකන විට වර්තමානය තුළ ඔවුන් බොහෝ මානසික ගැටලුවලට මුහුණදී හිඳින බව අත්දැකීමෙන්ම මම දනිමි. මා එසේ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරන මා වෙත දිනපතාම යම් සිසු සිසුවියන් ප්‍රමාණයක් උපදේශන සඳහා පැමිණෙන නිසාය. සරසවි සිසුන් බහුලව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිවෙළින් අපි විමසා බලමු.
ප්‍රේම සම්බන්ධතා කඩවීම
විශ්වවිද්‍යාල තුළ ප්‍රේම සම්බන්ධතා හටගැනීම වගේම බිඳ වැටීමත් බහුල ය. එයට හේතුව මේ බොහෝ ප්‍රේම සම්බන්ධතා  හදිසි තෝරා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇති වීමයි. මෙම හදිසි තෝරා ගැනීම් බොහෝවිටම වැරදි තෝරා ගැනීම් වේ.
මීට දශක කිහිපයකට එපිට අතීතයේදී අද තරම් බහුලව විශ්වවිද්‍යාල තුළ පෙම්වතුන්, පෙම්වතියන් ජෝඩු දැක ගත හැකි වූයේ නැත. එදා සිටි ඒ අල්ප ජෝඩු අදටත් එක්ව ගත කරනු අපට බොහෝවිට දැක ගන්නට ලැබේ. ඒ විවාහ වී දරුමල්ලන් ලබා මව්පියන් ලෙස එක වහලක් යට ජීවත්වන අය ලෙසිනි.
නමුත් හදිසියේ ඇතිවන ප්‍රේම සම්බන්ධතා මේ තත්ත්වය දක්වා දුරදිග යාම අඩු ය. ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට නම් අරමුණක් තිබිය යුතුය. මෙහිදී මුල්ම අරමුණ විය යුත්තේ  එබඳු සම්බන්ධයකට උචිත සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමය. එසේ නොවී හදිසි තෝරා ගැනීම් මත ඇතිවන සම්බන්ධතා බොහෝවිටම අනවබෝධය මත ඇති කර ගන්නා ඒවාය. අඩුතරමින් එලෙස සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් පසුව හෝ එකිනෙකාගේ වෙනස්කම් අවබෝධ කර ගෙන ඒවාට අනුව හැඩ ගැසෙන්නට සහ තමන්ගේ අඩුපාඩු හදා ගන්නට වර්තමාන තරුණ තරුණියන්ගේ උනන්දුවක් නැත. ඔවුන්ගේ ඊළඟ අරමුණ සම්බන්ධතාව අතහැර දැමීමය.
ඊළඟ කරුණ නම් අද ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නා අවිවාහක තරුණ තරුණියන්ගෙන් 80ක් පමණ ඉතා කෙටි කාලයකින් කායික සම්බන්ධතා පවත්වන තත්ත්වයට පත් වීමයි. මෙසේ කායික සම්බන්ධතා පවත්වන පෙම්වතුන් පවා මොනයම් හෝ හදිසි තීරණ මත තම පෙම් සබඳතාව අතරමග නතර කරන්නට පෙළඹීම අද දක්නට ලැබෙන සුලභ හා බරපතළ තත්ත්වයකි.
ප්‍රේම සම්බන්ධතා කඩවීම මත  මා වෙත උපදේශන ලබා ගැනීමට පැමිණෙන බොහෝ විශ්ව විද්‍යාල සිසුවියන් කියන කතාවක් වන්නේ “අනේ ඩොක්ටර් මට මැරෙන්නම හිතෙනවා.” යන්නය. එම සම්බන්ධය බිඳී ගියේ එය
නොගැළපීම නිසා බව උපදේශන මගින් ඔවුන්ට ඒත්තු ගැන්වූ පසු ඔවුන් බොහෝ දෙනෙක් විමසන ‍පොදු ප්‍රශ්නයක් තිබේ.
එනම් “මට කවදහරි විවාහයක් වෙන්න බැරි වේවිද? යන්නයි. තවදුරටත් කතාබහ කිරීමේදී පැහැදිලි වන්නේ එසේ විමසන හැම තරුණියකම පාහේ තමන් අතහැර ගිය පෙම්වතා සමග කායික සම්බන්ධතා පවත්වා ඇති බවය. විවාහයකදී තරුණියගේ කන්‍යාභාවය පිළිබඳව සලකන පිරිමින් තවමත් අපේ සමාජය තුළ සිටින නිසා ඔවුහු විවාහයට බිය වෙති.
ඒ නිසා ප්‍රේම සම්බන්ධතා බිඳී යාම තරුණයකුට වඩා තරුණියකට කිහිප ආකාරයකින්ම මානසික පීඩාවක් ඇති කරන්නක් වේ.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම මඳ වීම
සරසවි සිසුන් සෑහෙන පිරිසකට බලපාන විශාල ගැටලුවක් ලෙස මෙයද සැලකිය හැකිය. විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හැර අනෙක් හැම පීඨයකම ශාස්ත්‍රීය කටයුතු සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. බොහොමයක් සිසුනට ඊට සරිලන අන්දමේ ඉංග්‍රීසි භාෂා දැනුමක් පාසල් අධ්‍යාපනය තුළින් ලැබි නැත. මේ අභියෝගයට මුහුණ  දිය නොහැකිව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දමා ආපසු ගමට යාමට තරම් තදබල මානසික ඇද වැටීමකට ලක්වූ වෛද්‍ය සිසුන් පවා මට හමුවී තිබේ.
විභාග භීතිකාව සහ සමාජ භීතිකාව
විභාගයක් ආසන්න වන විට එයට මුහුණදීමේ තදබල බියකින් හෙවත් විභාග භීතිකාවෙන් (Exam phobia) පෙළෙන සිසු සිසුවියන්ද විශ්වවිද්‍යාල ප්‍රජාව අතරේ සුලබය. මේ අයට විභාගයක් ආසන්න වන විට දැඩි තිගැස්මක් , චකිතයක් වැනි හැඟීීම් ඇති වීම නිසා විභාගයට මුහුණ දීමෙන් වැළකී හිඳීමට උත්සාහ දරනු ඇත.
තවත් සමහර සිසුනට විභාග භීතිකාව ඇති වන්නේ අනෙක් සහෝදර සිසු සිසුවියන්ට වඩා ඉහළින් යාමට ඉලක්ක තබා ගැනීම නිසාය. එය තමාට ඉටුකර ගැනීමට නොහැකි වේය යන බිය නිසා විභාග භීතිකාව ඇති විය හැකිය. කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී (Presentations)තමාට දැනුම තිබුණත් පිරිසක් ඉදිරියෙදී ඒවා ඉදිරිපත් කිරීමට විශාල තිගැස්මක් ඇති වීම සමාජ භීතිකාව (Social Phobia) නිසා ඇති වන තත්ත්වයකි. මෙයද විශාල මානසික ගැටළුවක් ඇති කරවන කරුණක් වේ.
ආර්ථික ප්‍රශ්න බාහිරට නොපෙනුණත් විශ්ව විද්‍යාල තුළ දැඩි  ආර්ථික
අපහසුතාවලින් පෙළෙන සැලකිය යුතු පිරිසක් සිටිති. මගෙන් උපදේශන ලබා ගැනීමට පැමිණි එබඳු එක සිසුවියකට දෙමාපියන්ගෙන් ලැබෙන්නේ මසකට රුපියල් දහසක් වැනි මුදලක් පමණි. එයද කුලී වැඩ තිබෙන කාලයටය. කුලී වැඩ නැති වුණොත් ඒකත් නැත. රුපියල් දහසකින් අද කාලයේ කළ හැකිදේ  ඉතා අල්පය. ඒකත් නැතිවීම යනු ඊටත් වඩා විශාල ඛිෙදවාචකයකි. එවැනි දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය තුළ රැඳී හිඳින්නේ අනිකුත් යහළු
යෙහෙළියන්ගේ උපකාරය නිසාය. මහ‍පොළ ශිෂ්‍යාධාරයද ශිෂ්‍යයෙකුට තම මාසික විය හියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ.
මෙවැනි ගැටලු නිසාම අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියා කරන සිසු සිසුවියෝ බොහෝය. ගොඩනැගිලි හදන තැන්වල අත්වැඩ කරන, රාත්‍රියට පෞද්ගලික ආරක්ෂක සේවයෙහි යෙදෙන ශිෂ්‍යයෝද මේ අතර සිටිති. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුනට නිවෙස්වලට ගොස් ටියුෂන් ලබා දී මුදලක් සොයා ගන්නා ශිෂ්‍යයන්ද වේ. සමහර ශිෂ්‍යාවෝ ප්‍රචාරක ආයතනවල අර්ධකාලීන රැකියාවල යෙදෙති. මෙකී නොකී තාවකාලික රැකියාවන් හි යෙදී ජීවත් වීම සඳහාත්, අධ්‍යාපනය ලැබිම සඳහාත් මුදලක් අතට ලබා ගන්නා විට ඔවුන් මුහුණ දෙන මීළඟ ප්‍රධානතම ගැටලුව වන්නේ දේශන මගහැරී යාමය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඉටුකර ගැනීමට වැට බැඳේ.
පවු‍ලේ ප්‍රශ්න
දෙමාපියන්ගේ අඬදබර, ඔවුන්ගේ අනියම් සම්බන්ධතා, දික්කසාද වීම්, පියාගේ බිමත්කම, තවත් සමහර සරසවි සිසුනට අධ්‍යාපන කටයුතු එපා කරවන ගැටලුවේ. “ගෙදර මොනව වෙනවද දන්නේ නෑ”කියමින් නිතරම බියෙන් පීඩා විඳීම නිසා අධ්‍යාපන කටයුතු සහමුලින් එපාවූ එවැනි සිසු සිසුවියන් බොහෝ විට මට හමුවී තිබේ.  එවැනි අත්දැකීම් ලබන සමහර සිසුවියන් “ගෙදර ප්‍රශ්න මතක් වෙන කොට මට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, මැරෙන්න හිතෙනවා” වැනි දේවල් වරින් වර මා සමග පැවසූ අන්දම මේ මොහොතේ ද මගේ සිහියට නැගේ.
සරසවි සිසු සිසුවියන් මුහුණ දෙන මෙවැනි අනේක විධ ගැටලුවලට විසඳුම් නැත්තේම නැත. මෙහිදී කළ යුතු මූලිකම දෙය වන්නේ එවැනි සිසු සිසුවියන් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දිය හැකි මාර්ගවලට යොමු කිරීමය. වර්තමාන පරම්පරාව තුළ අභියෝගවලට මුහුණ දීමට හැකි ශක්තිය ධෛර්ය ඇති දරුවන් අඩුය. එය වසර ගණනාවක් තිස්සේම අපේ රටේ දිගින් දිගටම පැවත ආ විභාගවලට ලකුණු ලබා ගැනීමේ තරගයට පමණක් දරුවන් හුරු කරවීමේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි.
දැන් මේ තත්ත්වය බොහෝ සෙයින් ඔඩුදුවා තිබේ. දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබන්නට ජීවිතය විඳින්නට තිබූ ළමා විය අහිමිව ගියේය. එහි ප්‍රතිඵල වසර ගණනාවක් තිස්සේ අපේ රට දැන් භුක්ති  විඳිමින් සිටියි. මේ හේතුව මත සමාජය හා මුසු වීමේදී එළඹෙන විවිධාකාර අභියෝගවලට මුහුණ දීමට නොහැකිව මානසිකව කඩා වැටෙන විට දිවි නසාගැනීම තුළින් ඊට පිළිතුරු සොයන්නට යම් දරුවකු පෙළඹේ නම් ඊට වග කිව යුත්තන් කවුද? අශ්වයා පැන ගියාට  පසු ඉස්තාලය වසා පලක් නැත. නොපමාවම අපේ තරුණ පරපුර මුහුණ දී  හිඳින මේ ඛිෙදවාචකයෙහි අල ගිය තැන් මුල ගිය තැන් සොයා ඒවාට විසඳුම් සෙවිය යුතු වේ.

නූතන නවකතාව හා ලිංගික වලිප්පුව

මිනිසා තුළ නොහික්මුණු තවත් සත්වයෙක් සිටී. ඔහු දැකීමට මිනිසා ප්‍රසිද්ධියේ කැමති නැත. ඒ සමාජය නැමැති කැඩපතේ පරාවර්තනයක් ලෙස තමා දැකීමට මිනිසාට පුරුදු කර තිබිම සංස්කෘතිය වශයෙන් හඳුනා ගැනීමයි. එය එසේ සකස් කර ගත්තේ නිකම්ම නොවේ. දාර්ශනික, ආගමික, සාමාජික ඈ බහුවිධ කාරණා ඊට පාදක වී ඇත්තේ එසේ නොවන තැන මිනිසෙක් දැකිය නොහැකි බැවින්. නමුත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දකින කල මේ දෙකේ වෙනසක්ද නොපෙනේ. අනාගත පරපුරට තාරුණ්‍යයත් සමගම ඔවුන් තුළ සිටින නොහික්මුණු සත්වයා එළියට ගැනීමට බිහිවන නිර්මාණ කෘති සැබවින්ම ලිංගික වෙළෙඳ භාණ්ඩයන්ය. එනම් නව ලිබරල් පරිභෝජන
වෙළෙඳපළේ භාණ්ඩයන්ය. ඒ වෙළෙඳ භාණ්ඩ නිර්මාපකයන් අපගෙන් ඉතින් දැන් සිදුවන්නෙත් ඒකනේ. ඒක ලිව්වහම මොකදැයි ප්‍රශ්න කළද එයද පුදුමයට කරුණක් නොවේ. ඒ නොහික්මුණු සත්වයාගේ හැසිරීම අපි විකෘති ලිංගිකත්වය ලෙස හඳුන්වමු. නමුත් ලෝකයේම ඒ සඳහා ඇති 16-2නිර්නායකයන් පවතිනුයේ මිනිසාට ලෝකයේ වඩාත් යහපත් තැනක් බවට පත් කරනු පිණිසය. එය ප්‍රකෘති ලෝකයයි.
සාහිත්‍යාංගයක් ලෙස නවකතාව බහුතර සමාජයට සමාජගත වන අංගයකි. එසේම ‍පොත මුල්ම සන්නිවේදන මාධ්‍යයයි. නව කතාව
පිළිබඳව කතා කළ යුත්තේ එය අධ්‍යාපනය හදාරන දරුවන් අතටද පත්වන කෘති බැවිණි. ඒ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී ගුරුවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා නවකතා අධ්‍යයනය කළ යුත්තේ මීළඟ පරම්පරාව පිළිබඳවද අවධානය යොමු කරමිනි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී තවමත් මාර්ටින් වික්‍රමසිංහ වැන්නන්ගේ නවකතාවලින් ඔබ්බට ගිය නවකතා නැත්දැයි ඇතැමුන් ප්‍රශ්න කළද සැබවින්ම ‘‍පොත’ පෞද්ගලිකව ග්‍රාහකයා ග්‍රහණය කරගන්නා මාධ්‍යයක් නිසා එය සමාජගත කරවන ‍ලේඛකයාටද වගකීමක් ඇත. මක්නිසාද යත් ඕනෑම ආකාරයකින් සමාජගත වන ග්‍රන්ථයක් දරුවන්ගේ අතට පත්විය යුත්තේ ඔවුන් වඩාත් යහපත් රසවින්දනයකට යොමු කරවමිනි. මෑතදී පළවූ විවිධ නවකතා දෙස බැලීමේදී ගුරුවරුන් වඩාත් අවදියෙන් සිටිය යුතු වන්නේ ඇතැම් නවකතා ලිංගිකත්වය හුවා දැක්වීමටම ලියැවී ඇති ලිංගික කෘති බැවිණි.
ඒ අනුව නවකතා කීපයක් සංසන්දනය කිරීමේදී ඒවාහි අන්තර්ගතයට කාට කුමක් සඳහා ලියා ඇත්දැයි ප්‍රශ්න පැන නගී. නවකතාවකදී හෝ වෙනත් ඕනෑම කලා කෘතියකින් කතුවරයා කරන්නේ තම (expression) ප්‍රකාශනය සමාජගත කරවීමයි. විටෙක එය ආශ්ලාදජනක වින්දනයකින් හෙබියක් විය හැකිය. විටෙක කිසියම් පණිවුඩයක් දීමක් විය හැකිය. විටෙක යම් කිසි ප්‍රපංචයක් හුවා දක්වනවා විය හැකිය. එහිදී විවිධ සමාජ ස්ථර ඉලක්ක කරගන්නවාද විය හැකිය.
මෑතකදී ලියැවී ඇති කෘති කිහිපයක අන්තර්ගතයන් විමසා බලමු. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ කෘතියේ මුඛ්‍ය තේමාව ගලා යන්නේ ‘ලිංගිකත්වය හා බලය’ යන්න හුවා දැක්වීමටය. කතුවරයා කියන ආකාරයට වෘත්තාන්තයක් නොවූවද ‘රිද්මා’ නොහොත් ‘චුට්ටී’ වටා ගතෛන කතාවේදී ඇය මුල්වරට තම බාප්පා අතින් කෙලෙසේ. පසු කලක ඇය රෑ දවල් දෙකේදී බාප්පා හා තාත්තා සමග යහන්ගත වන බව කියැවේ. එසේම රිද්මාගේ චරිතය කතුවරයා ගොඩනගන්නේ ගැහැනියට උරුම පිරිමි අතින් කෙලෙසීම පමණක්ම බව කියා පෑමටය. ඇය කිසිම තැනෙක ඒවාට විරුද්ධ වන්නේ නැත. එකම එක තැනෙක ‘රාජයියා’ නම් මිනිසකුට පිහියෙන් ඇන යළිත් ළඟාවන්නේ තමා මුලින්ම කෙලෙසූ බාප්පාගේ ඇසුරටමය.
මේ නවකතාවේ 157 පිටුවේ මහලු පූජකවරයකු සමග කෙරෙන විකෘති ලිංගික ගනුදෙනුව, යළි විල්සන් නමැති හැඩිදැඩියකු සමග කෙරෙන ගනුදෙනුව ඉතාමත්ම විකෘති ලිංගිකත්වයන් ඉස්මතු කරවන තැන්ය. කෘතියේ මුඛ්‍යාර්ථයම ලිංගික ක්‍රියාකාරකම් අමුවෙන් කියා පෑමයි. කෘතිය පුරා හමුවන සෙදෝනා හා සුද්දීද වෙසඟනෝය. අවසානයේ නොසිතන ආකාරයට රිද්මාට අවශ්‍ය වන්නේ ඔස්කා සේනානායක නම් මහාචාර්යවරයාගෙන් දරුවෙකි.
සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ කෘතියේ ‘නූපා’ද මෙබඳු ඛිෙදවාචකයකට ගොදුරු වූ චරිතයකි. නමුත් සුමිත්‍රා ඒ කෙලෙසීම මත තම අනාගතය ගොඩනගා ගැනීමට නූපා ගන්නා වෙහෙස ඉතාම අපූරුවට පෙන්වා ඇත්තේ කිසිදු ලිංගික කාරණාවක් ඉස්මතු නොකරමිනි. ඒ ‍ලේඛනය මත ‍ලේඛිකාවගේ
ශික්ෂණය අපූරුවට දැකගත හැකිය. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ ග්‍රන්ථයේ රිද්මාගේ එක් සිදුවීමක් ‘විල්සන්’ නමැත්තෙකු සමග කෙරෙන විස්තරය සමාන වන්නේ සෙංකොට්ටං හි කැලෑ සතකු බඳු හැඩිදැඩි මිනිසා ‍පොඩිනා රවටා කැලෑවට රැගෙන යාම හා කෙලෙසීමටය. නමුත් සෙංකොට්ටංහි කතුවරයා ඒ සිදුවීමට අපූර්වත්වයක් දී ඇත්තේ ‍ලේඛනයේ ශික්ෂණය හසුරුවා ගැනීමෙනි.
මේ හා සමාන තවත් එක් සිදුවීමක් ‘පරඬැල්’ නවකතාවේ රමණි සහ ලීලාරත්න (කිරිදෙයියා) අතරත් පියැසි කවුළුවේ වින්ටර් සහ ඉසබෙලා අතරත් සිදුවුවාද ඒවා කෘතියට එතරම් හානියක් සිදුකර නැත. එසේම චුම්බන කන්දේ ‍පොඩිසිංහයාට හමුවන අභිගුණ්ඨක ගැහැනියගේ හමුවද එවැන්නක් වුව එයින් මතුවන්නේ මිථ්‍යාව මිස ලිංගිකත්වය නොවේ. “නෙරුදාගේ ලියුංකාරයා” ඉතා කඩිනමින් පරිවර්තනය කළ කෘතියක් බවට පත්වන්නේ එහිදී පරිවර්තකයා මෙරට සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව එතරම් තැකීමක් කොට නැති කමිනි. ඇතැම් පිටුවල දැකිය හැක්කේ ලිංගිකත්වය අමුවෙන් ප්‍රකාශනය කිරීමකි. ඒවා නිර්මාණවලට වඩා ලිංගික උත්තේජක වශයෙන් විකිණෙන භාණ්ඩ බවට පත්වී ඇත. මුල් කෘති වෙනත් සංස්කෘතික තලයක තිබුණද ඒ රටවලට ඒවා එතරම් නුවූවද ‍ලේඛකයකුට මෙරට මීළඟ පරපුර පිළිබඳ වගකීමක් තිබිය යුතුය. සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අතනෑර’ කෘතිය මෙරට සමාජය එතරම් කතාබහ නොකළේ මේ කාරණාව නිසාය. එය වෙනත් රටක කෘතියක අනුවර්තනයක් පමණක් නොව මෙරට සමාජයට තරමක් පරිබාහිර ජුගුප්සාජනක අවස්ථාද තිබිම එක් හේතුවකි.
නමුත් එහිදී ‍ලේඛිකාව අනවශ්‍ය ලිංගික කරුණු ඉස්මතු කොට නැත. චමිල ලියනගේගේ ‘කොළඹ කළුවර’ කතාව ප්‍රධාන වන්නේම විවිධ ගැහැනු පිරිමි සම්බන්ධතා සමගය. එක් තැනෙක ප්‍රධාන කතා නායිකාව වන නිත්‍යාට ඇගේ මව තමාට විවාහය සඳහා යෝජනා කළේ උමේෂ් නමැත්තා සමග සිටින අවස්ථාවක් මුණගැසේ. නමුත් එය කිසි විටෙක ලිංගිකත්වය ඉස්මතු නොකරන ආකාරයකට ලියැවී තිබිණි. එසේම බත්තලංගුඩුව නවකතාවේ එන ප්‍රධාන කතා නායකයා පියාගේ දෙවන බිරිඳ සමග ඇති කරගන්නා සම්බන්ධතාවයක් නිසා අවසානයේ ඇය ගැබිනියක් වන තැනින් කතාවද නිමාව දකී. නමුත් එය එතරම් ජුගුප්සාජනක ලෙස හුවා දැක්වීමක් දැකගත නොහැකි වූ නමුත් මෙරට සංස්කෘතිය තුළ කුඩම්මා අම්මා තරමටම සැලකෙන්නියකි. ‍ලේඛකයා එහිදී ‘එය එසේම වාර්තා කිරීම’ කෘතියට කරගත් හානියකි.
‘පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන’ කියන නම ඇසූ සැනින් සිතුවේ අර මුලින් කියා ඇති නවකතා දෙක වගේ තවත් ‍පොතක් කියාය. නමුත් එය කියවූ මට ඇති වූයේ මෙවන් අදහසකි.
නවකතාවකට වඩා නාට්‍යානුසාර දෙබස් රැගත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි පිටපතක් වගේය. ඉන් අදහස් කරන්නේ මේ නවකතාව ලඝු කිරීමට නොවේ. නවකතාවේ අග භාගය හා මුල් කොටසේ ඇතැම් සිදුවීම් සමග අපට බැඳෙන කතුවරයා නොමැති නම් අපූරු නූතන කියවීමකි. මේ ‍පොත පිළිබඳව එතරම් කතාබහ නොකළත් ඔහු ඩෙරිඩියානු ප්‍රවේශයේ  (Duality) ද්විත්වය අත්හදා බැලූ බවක් පෙනේ. මේ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන මම සහ රෝෂිනී යනු සැබෑ ප්‍රකෘති විවාහය තුළ තම අපේක්ෂා ඉටු කර ගැනීමට ගමනක් යන දෙදෙනෙකි. අප සැම කරන්නේද එයයි. විවාහය හුදෙක් අප එළිපිට කතා නොකරන (for Convenience) (අපගේ ඕනෑ එපාකම් සඳහා) යන්න අර්ථ දැක්වීමට ඔහු උදාහරණ සපයයි. සැබෑව එයයි. සමාජයේ චරිත
ගවේෂණයෙන් ලබාගත් අනුභූතීන් තම දෘෂ්ටිමය ඉලක්කයක් කරා අවසාන කොටසේදී කතුවරයා නවකතාවට බසී. එය ‘සුද්දෙක් ඔබ අමතයි’ වන්නේ එතැන් සිටය. ඒ අප දන්නා ‍ලේඛකයා බැවිණි. කතුවරයාගේ පෞද්ගලික අනුභූතීන් ‍පොදු බවට පත් කරගන්නා ශූර හැකියාවක් ඔහුගේ ‍ලේඛනයේ මුල් කොටසේ ඇත. මෙය මෑතකදී කියවූ ‍පොත් අතරින් වඩාත් රමණීය බස්වහරකින් පාඨකයාගේ කියැවීමේ රුචිය ඇති කළ ග්‍රන්ථයකි. භාෂාවේ රිද්මය, ලාලිත්‍යය, භාවික ගුණය, ඖචිත්‍යය, අතින් කතුවරයා බත්තලගුණ්ඩුවේ වෙඩිවර්ධන, රිදී තිරංගනාවී සුනේත්‍රා අත අතනෑර සුමිත්‍රා යන තිදෙනා තම නිර්මාණ ඔස්සේ යොදාගත් රමණීය බස් වහරට නවතම එක්වීම චින්තක රණසිංහය. ඔහුගේ උපමා, උපමේය, රූපක මෙන්ම උපහාසාත්මක සමාජ දෘෂ්ටිය ඒ කියැවීම තුළ මොනවට සිතුවම් කරයි.
මෑතකදී පළවූ ‘මාගම් සෝලිය’ පිළිබඳව නොකියාම බැරිය. එය කතුවරයාගේ ‘බෝදිලිමා’ කෙටි කතාව මෙන් ලියවුණක් නොවේ. පසුගිය වසර කීපය තුළ ලියවුණු ආකර්ශනීය කවරයකින් යුත් විකෘතිකාමය අතිශයින් ඉස්මතු වූ නවකතාව ලෙස මෙය හැඳින්විය හැකිය. එය යථාර්ථවාදී නවකතාවක්ද නොවේ. ඉතිහාස කතාවක්ද නොවේ. ඒ පිළිබඳව විවිධාකාර පුද්ගලයින්ගේ ප්‍රකාශ දෙවන තෙවන මුද්‍රණයක් සමග පළ වී තිබේ. ඒවා සියල්ලම පුරුෂ දෘෂ්ටිවාදයෙන්ම දක්වා ඇති අදහස්ය. ඇතැමෙක් කියා ඇත්තේ ‘අභියෝග කළ නොහැකි අභව්‍ය යැයි කිව නොහැකි දේවල් එහි අඩංගු වී ඇති බවයි’  ඇත්තය. ඒ මිනිසා තුළ සිටින නොහික්මුණු සත්වයාය. කන්‍යාවියක් දරුවකු වැදීම ආදිය ගත් කළ මැජික් රියලිසම් ගණයට වැටෙනවා යැයි කිසිවකු කීවද මෙය ආරම්භ වන්නේ ඌව වෙල්ලස්සේ සැබෑ පන්සලක් ආශ්‍රිතවය. යථාර්ථවාදී රීතියකිනි. එයින් කතුවරයා තම පර්යේෂණ හැකියාව හා ‍ලේඛන හැකියාවේ ව්‍යාජය පෙන්වයි.16-1
මේ කතාවේ රාජසිංහ රජුගේ කාලය, වසූරියෙන් මියයන මිනිසුන් ඒ යුගයේ කතාබහ කරන වාග් විලාසය අනුව එක්තරා ඓතිහාසික යුගයක් නියෝජනය කරයි. එසේම එවක පවුල් සබඳතා ඒවා බෙදී යන ආකාරය හා ලිංගික සම්බන්ධතා යන කාරණාවලට ප්‍රමුඛත්වයක් දී තිබේ. අතිශය මිථ්‍යාමතවලින් පිරී ඇත. සාමාන්‍යයෙන් කෙනෙකු මියගිය පසු ඒ තැනැත්තා හෝ තැනැත්තී තවත් ජීවත්වන කෙනෙකුට වැහෙනවා යැයි යන්න වෙනස් කොට ජීවත් වන අම්මා (ගෝමරී) තම දියණිය වන වල්ලිට වැහේ. එහි අප්‍රියකරම කොටස වන්නේ 245 පිටුවේ එන ජවනිකාවයි. වල්ලිට ගෝමරී වැසී ඇති බවත් ‍පොඩි නිලමේට කඩවර දෙයියෝ වැසී ඇති නිසාත් ඔවුන් කරන්නේ එකිනෙකාට යටත් නොවීමට ලිංගිකව හැසිරීමයි. එය කුමාර ලියනගේ කියන පරිදි ලිංගික වලිප්පුවයි. එපමණක් නොව ‍පොත පුරාම එන මිථ්‍යාව හා ගෝත්‍රික
අශිෂ්ටාචාර ක්‍රම මෙන්ම සමාජයේ මූලික ගෝත්‍රික සමාජවල තිබූ ප්‍රාථමික විශ්වාස හා ප්‍රාථමික ජීවන ක්‍රම යන්ත්‍රයක් මෙන් ජපකරමින් කෙරෙන කතුවරයාගේ ප්‍රකාශනය යනු කුමක්දැයි ප්‍රශ්නයකි. පාසල් පුස්තකාලවලට දැමීමට පෙර මෙවැනි නවකතා ‍පොත් ගුරුවරුන් කියවා සිටියොත් වඩාත් හොඳය. ඒ අතින් ඩීමන් ආනන්ද ශ්‍රේෂ්ඨය.
මාගම්සෝලිය ලියන කතුවරයා කියා ඇත්තේ ‘මාගේ කාර්යය ඉවරයි. විවේචන විචාර පාඨකයාට බාරයි’ යනුවෙනි. එය ඉතාම හොඳය. කතුවරයා අප හිතවතෙකි. එසේම ඔහුට විචාරයක්, විවේචනයක් බාර ගැනීමට නොහැකි නම් ඔහුගේ ‍ලේඛනයේ ඇති ඵලක්ද නැත. ලෝකයේ මුල්ම නිල් ‍පොත (Blue book) ලෙස අප දන්නේ Fanny hill නව කතාවයි. එහෙත් එසේම කිසිම දෙමව්පියකු තම දරුවාට නිල් චිත්‍රපටයක් බලන්නට ගෙනැවිත් දෙන්නේ නැත. (මෑතකදී එක්තරා පියකු තම දියණියන් තිදෙනාට නිල් චිත්‍රපටයක් පෙන්වූ පුවතක් ද වාර්තා විය) ලෝකයේ තවත් කතාබහට ලක්වූ එමා බොවාරි, ‍ලේඩි චැටර්ලිස් ලවර් වෙනත් රටවල නඩු හබවලට වැටුණේ සමාජ සාරධර්ම පදනම් කරගෙනය. බටහිර ලෝකයේ ටෝනි මොරිසන්ගේ ‘පැරඩයිස්’ නවකතාව චිත්‍රපටයට නැගීමේදී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඔප්රා වින්ෆ්‍රීය. නමුත් එය ලාංකේය සමාජය වැළඳගත්තේ හෝ ඒ පිළිබඳ දන්නේවත් නැත. එසේම ශ්‍රී ලාංකේය රචකයකුගේ ‘විරාගය’ වෙනත් රටකට එතරම් වටිනාකමක් නැතත් මෙරටට මහත් වටිනාකමක් ඇති ග්‍රන්ථයකි. ‍පොතපත පමණක් නොව කවිය, කවි කොළය පැවැති යුගයේ සොක්‍රටීස්ට වඩා ප්ලෝටෝ සදාචාරය පිළිබඳ සැලකිලිමත් වූයේ ඊළඟ පරපුර පිළිබඳව තිබූ හෘදයාංගම බව නිසාවෙනි. ඔවුන්ගේ ආචාරධර්ම හා දාර්ශනික මතවාදවලට පටහැනිව ‘එපිකිය්‍යුරස්’ වැන්නවුන් අදට වලංගු ජීවිතය යනු සුඛ විහරණය පමණක්ම බව මතු කරන ලදී. මේවාහි ඓතිහාසික අවසාන යුගයේ නූතනවාදය සමග පැමිණි පශ්චාත් නූතනවාදය ඉස්මතු වූයේ සංස්කෘතිය විසින් සාරධර්ම ලෙසින් යටපත් කොට ඇති මිනිස් ස්වභාවයන් සංස්කෘතික කඩතුරා ඉරා දමමින් කතා කිරීමයි. ඒවා කලා නිර්මාණ ලෙසින් මතුවන විට චිත්‍රපට, කවියට, සිනමාවට මෙන්ම නවකතාවටද එකසේ බලපෑවේය. මානව ස්වභාවයන් කතා කිරීම ලෝකයේ විවිධ මාධ්‍ය ඔස්සේ එක් එක් ආකාරයන්ට සිදුවීමත් සමග ශ්‍රී ලාංකේය කවිය, කෙටි කතාව, නවකතාව පමණක් නොව ‍පෝස්ටරය පවා ඒවාට හසුවිය. ඒ එක් මාධ්‍යයකටවත් නොදවෛනිව පාර වරද්දා ගනිමින් යොදාගත්තේ නව කතාවයි. ඒ බවට හොඳම උදාහරණය ‘මාගම් සෝලියයි’. මාගම්සෝලිය පිළිබඳව විචාරක ඇසින් අදහස් දක්වා ඇති සියල්ලන්ම පිරිමිය. මටද මෙහිදී කිව හැක්කේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ කියාය.
මෙය පෞද්ගලික කාරණයක් නොවේ. පශ්චාත් නූතනවාදය හා මැජිකල් රියලිසම් නොකියවා කියන කාරණාවක්ද නොවේ. මැජිකල් රියලිසම් අපි කියවූයේ ගමරාල දිව්‍ය ලෝකයේ ගිය කතාන්තරයේ පටන්ය. නවකතාවක් කියවා රස විඳීමේ නොහැකියාව නිසාද නොවේ. නවකතා පිළිබඳව යමක් කිව හැකි එකම කාන්තාව නිසාද නොවේ. හුදු සුචරිතවාදය කරපින්නා ගැනීමක්ද නොවේ. මිනිසා තුළ සිටින අභ්‍යන්තර සත්වයා කලා කෘතියක් වන නවකතාවෙන් එළියට ඇද දමන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය මට ඇති බැවිණි.
ලෝකයේ ‍පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමෙරිකාව අප විශ්වාස කරන්නේ නිදහස අපරිමිතව භුක්තිවිඳින ජනතාවක් ඇති රටක් ලෙසය. මාධ්‍ය සඳහා ආචාරධර්ම හෝ සමාජ සදාචාරයත් නොමැති රටක් ලෙසය. නමුත් ශ්‍රී ලාංකේය
ළමා පරපුරට නිවැරදි අවබෝධයක් ලබාදීමට අ‍පොහොසත් වැඩිහිටියන් නිහඬව සිටියදී මායාව හා මිථ්‍යාව පුරවාගත් ‘හැරී‍පෝටර්’ ‍පොත් පෙළ කියවද්දී ඇමෙරිකාවේ තහනම් ‍පොත් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ හැරී‍පෝටර්ය. ඒ ළමා පරපුර මිථ්‍යාව හා ගුප්ත බව ඔස්සේ මනෝ විකාර ලෝකවලට හුරුවීම වැළැක්වීමටය. අප වසරක් පාසා දරුවන්ට ඥාන දායාදය කරන්නන් හැටියට දරුපරපුර පිළිබඳ හැඟීමක් ‘මට මගේ ජනතාව පිළිබඳ කැක්කුමක් ඇතිවා’ යැයි පබ්ලිස් සිල්වා මහතා කියන ආකාරයට මටද මෙරට දරුවන් පිළිබඳ කැක්කුමක් ඇත.
එ නිසා පාසල් ගුරුවර ගුරුවරියෙනි, ඔබේ පාස‍ලේ දරුවන් සඳහා මෙවැනි ලිංගික වලිප්පු රැගත් ‍පොත් පුස්තකාලවලින් බැහැර කරන්නට ඔබටවත් අඩු තරමින් දායක වීමට හැකි නම් ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවරක් වනු ඇත.
අපට ලිංගික භාණ්ඩ විකිණීම නැවැත්විය නොහැකිය. එය නවලිබරල් පරිභෝජන ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාර වේ. ඒ නිසා අපට කුඩා පරිමාණයෙන් කළ හැක්කේ විකෘතිකාමය (සංස්කෘතිය විසින් යටත් කොට ඇති ස්වභාවය) ඉස්මතුකොට තරුණ දරුවන් විකෘති ලෝකවලට ඇද වැටීම වැළැක්වීමය. මෙය නව්‍යවාදය නියමාකාරයෙන් යොදා ගැනීම නොවේ. එය කළ යුත්තේ සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙනි.
මේ කතා කරන අප සියල්ලෝම වීතාරාගී වූවෝ නොවෙති. ලිංගිකත්වය මානව අවශ්‍යතාවයක් වුවත් එය එකම අවශ්‍යතාවයද නොවන්නේය. ‘මාගම් සෝලිය’ ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
බත්තලගුණ්ඩුව හා ‘නයිගලින් උපන් පුත්‍රයෝ’ වැනි මිථ්‍යාව හා සංස්කෘතිය ඉරා දැමූ කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූයේ නම් ‘මාගම් සෝලියට’ද හිමි නොවීමට ඉඩක් තිබිය නොහැකිය. මෙහි අවසාන ඵලය නම් තම දියණිය
දූෂණය කරන පියාට හුරේ තියන නැතහොත් ‍පෝරුවේදී විවාහයේ ලිංගික ක්‍රියාව පැවැත්වීමට බල කරන පරපුරක් බිහිවීමය.
අක්ෂරයට තහනමක් වැටුණේ එවැනි කෘතියක් නිසා නම් මෙවැනි ග්‍රන්ථවලට වෙළෙඳපළ විවෘතය. තීරණය සමාජයට බාරය.
අප රටේ බහුතර සමාජය පිළිගන්නා වීරයන් කොටස් දෙකකි. ඔවුන් වීරත්වයට පත්කොට ඇත්තේ මාධ්‍ය විසිනි. එක් වීරයෙක් නම් පවතින රජයකට විරුද්ධව කතා කරන වීරයාය. අනෙකා සමාජයේ ප්‍රසිද්ධියේ කතා නොකරන දේ අමු අමුවෙන් නිර්මාණයක් ඔස්සේ සමාජගත කරන වීරයාය. මේ නවකතාවලින් ඉස්මතු වන වර්තමාන වීරයා ලිංගික වලිප්පුව හැදුණු වීරයාය.

මගේ පෙම්වතිය කා‍ලේ එයා නිළියක් ‍නෙවෙයි දැන් එයා නිළියක්, ඒත් මගේ පෙම්වතිය ‍නෙවෙයි

Dasunජනප්‍රිය යොවුන් නළු දසුන් පතිරණ
සම්මත නළුවකුගේ බාහිර පෙනුමට අභියෝග කරමින් රංගනය ජයගත් නළු නිළියෝ අප රටේ කලා ක්‍ෂේත්‍රයේ සේම ජාත්‍යන්තරය තුළද වෙති. එවන් මගකට පිවිස සිය රංගනය තුළ වූ අපූර්වත්වයෙන් ජනප්‍රියත්වය කරා පියනගන රංගන ශිල්පියකු මෙවර රැජින කතාබහට එකතු කරගන්නට අපි සිතුවෙමු. දසුන් පතිරණ නම් මේ යොවුන් නළුවා මේ දිනවල විකාශය වන “ඒ ලෙවල් ඉවරයි” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එයි.
දසුන් සාමාන්‍ය ජීවිතයදීත් “ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේද ?

“ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේ චරිත මට සාමාන්‍ය ජීවිතයෙදිත් හමුවෙලා තියෙනවා. ඒ චරිතය සංගීතයම අරමුණු කරගෙන ජීවත්වන ගැටවර චරිතයක්. මමත් සරලව සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. මමත් හොඳ නළුවකු වෙනවාමයි කියන අරමුණින් යන කෙනෙක්.
නළුවකු වනවාමයි කියන අරමුණට ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
බොරු කියන්නේ මොකටද? ගෙදර තුළදී කවදාවත් මට “හොඳ ළමයා” කියන නම ලැබිලා නැහැ. පාසල තුළදිත් මට කවමදාවත් “හොඳ ශිෂ්‍යයා” කියන ප්‍රතිරූපය ලැබිලත් නැහැ. දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඇති පදමට ගුටිකන බැණුම් අහපු කෙනෙක් තමයි මම. ඒ විදියේ පසුබිමක නළුවකු වීමට දඟලද්දී දෙමවුපියන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්න විදියක් නැහැනේ. අම්මලට ඕන වුණේ මම ටයි එකක් දාගෙන කරන හොඳ රැකියාවක ඉන්නවා දකින්න. නමුත් ඒ අරමුණ ඉටුකර ගන්න ඒ අයට බැරි වුණා.
නමුත් අද ?
මං දන්නවා අද නම් ඒ අයට මං ගැන ටිකක් හරි සතුටු වෙන්න පුළුවන් බව.
නළුවකු වෙන්න හිතද්දී දසුන්ට නළු පෙනුම ගැන හිතුණෙ නැද්ද ?
මොකද නැත්තේ හිතුණා. මට නළු පෙනුමක් නැති බවත් මං දැන හිටියා. මම අඩි පහයි, අඟල් හතරක් උස කෙනෙක්. මුලදී නළුකම ගැන ආශාවක් තිබුණත් මට නළුවකු වන්න පුළුවන් කියන අදහස තදින්ම හිතට වැදුණේ මහේන්ද්‍ර අයියගෙ (මහේන්ද්‍ර පෙරේරා) වැඩමුළුවලට ගියාට පස්සේ. මහේන්ද්‍ර අයියටත් ඔය කියන නළු පෙනුම නෑ. ඒත් ඔහු අද අපට සිටින අති දක්ෂ නළුවෙක්. නළු පෙනුම නැතත් මට නළුවකු වෙන්න පුළුවන් කියන අදහස හිතට වැටුණම නළු පෙනුම ගැන තිබූ චකිතය ඉබේම නැතිවෙලා ගියා.
චරිතාංග රංගනයෙන් ගුණාත්මක නිර්මාණවලට දායක වන අය තරුවලටයි සරල විනෝදාත්මක නිර්මාණවලටයි දිගට හරහට දෙහි කපනවා.
මම නම් ඒ විදිහට බණින්නෙ නැහැ. සම්භාව්‍ය නිර්මාණ පෙන්වන්න සිනමාව කර්මාන්තයක් විදියට තිබිය යුතුයි. ඒ සඳහා දායක වන්නේ වාණිජ චිත්‍රපට. ඒ වගේම ‘තරු’ ත් අවශ්‍යයි.
Dasun1එහෙනම් ඔබ අගය කරන තරු ගැනත් කියන්න.

ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග දක්ෂ රංගන ශිල්පීන් විදිහට වගේම තරු ලෙසත්
ඉහළින්ම බැබලුණා. විශේෂයෙන් විජය කුමාරතුංග වැඩිපුරම ඉස්මතු වුණේ තරුවක් විදියට.
ඔබේ පරපුරේ අයගේ නම් කියන්න මැලි වන්නේ ඇයි ?
මගෙ පරපුරේ විතරක් නමෛයි මෑත කාලය පුරාම බිහිවූ නළුවන් අතර කඩවසම් අය සිටියා. ජනප්‍රිය චරිතත් තිබුණා. ඒත් මම හිතන විදියට අර මුලින් කී අය තරම් රසිකයන් අතර උන්මාදයක් ඇති කරවන අය ඒ අතර හිටියේ නැහැ.
ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ “මං ගමේ කොල්ලො” ගීතය ජනප්‍රියයි. ඔබටත් ඒ තුළින් තරුවක් වන්න පුළුවනි ....
ඒ ගීතය දැන් ජනප්‍රියයි තමයි. මට ගීත ගයන්න බැහැ. ඒත් ඒ ගීතයට මා රැඟූ රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
නමුත් දසුන්ට ඒ ගීතය නිසාම සංදර්ශන වේදිකාව හරහා තරුවක් වෙන්න වුණත් ඉදිරියේදී පුළුවන් වේවි ....
අද රටේ ඒ වගේ දේවල් වෙනවා තමයි. ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ. මට ආරාධනා ලැබුණොත් මම ඔය ගීතය ගායනා කරන “ලහිරු ප්‍රමූ පෙරේරා”ට ඒ අවස්ථාව ලබා දෙනවා. මම කරන්නේ ඒ ගායනයට අනුව අභිනය දැක්වීමක් විතරයි.
දසුන් සැබෑ ජීවිතේදීත් ගමේ කොල්ලෙක්ද ?
නැහැ. මම ඉපදුණේ. හැදුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ සේරම කොළඹ. මගේ පදිංචිය මරදානෙ. ඉගෙන ගත්තේ කේරි විදුහ‍ලේ.
දසුන්ගේ පවුල් පසුබිම ගැන කතා කළොත් ....
මට නංගි කෙනෙක් ඉන්නවා. තාත්තාට හෝටලයක් තියෙනවා. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.
 “ඒ ලෙවල් ඉවරයි“ ඔබේ පෙම්වතිය ඔබට වඩා වයසින් වැඩි සුදු ජාතික කාන්තාවක්
ඇගේ නම මර්සෙලා. ඇය නෙදර්ලන්ත කාන්තාවක්. ඉඳහිට ලංකාවට ඇවිත් යනවා. ඒ අතර විවිධ නිර්මාණවලට එකතු වුණා. මේ නිර්මාණය තුළදී ඇය සමග රඟපෑම මට අලුත් අත්දැකීමක් වුණා.
සැබෑ ජීවිතයේදී දසුන්ට පෙම්වතියක් ඉන්නවද ?
ඔව්.
ඇය නිළියක්ද ?
නැහැ.
අපට නම් ආරංචි නව පරපුරේ ජනප්‍රියතම නිළියක් දසුන්ගේ පෙම්වතිය බවයි
ඔය කියන කෙනා මගේ පෙම්වතිය වෙලා හිටිය කාලෙ නිළියක් නමෛයි. දැන් ඇය නිළියක්. ඒත් මගෙ පෙම්වතිය නමෛයි.
එකටම කලා ලෝකයට පිවිසිලා ටික දුරක් මේ විදියට යද්දී සම්බන්ධකම් බිඳිලා යන්නෙ ඇයි ?
අදහස් නොගැළපීම් හින්දා වෙන්වීම් සිදුවනවා.
ඇය අද තම දක්ෂතා සිනමාවටත් ගෙන ගිහින්. ඇය දසුන්ව අභිබවා යද්දී ඇතිවූ ඊර්ෂ්‍යාවටද සම්බන්ධය නතර කර දැම්මේ ?
නැහැ. නැහැ. ඇත්තටම මමත් ඇගේ දස්කම් අගය කරනවා. අපේ පරපුරේ ඉදිරියෙන්ම සිටින නිළියන් අතර ඇය ඉන්නවා. ඇයට ඊර්ෂ්‍යා කරන්න හේතුවක් නැහැ. මමත් අද යම් ස්ථාවරයක ඉන්නවා. අනෙක අපි වෙන් වුණාට අදටත් හොඳ යාළුවෝ.
ඔය දෙන්නට නිර්මාණයකදී පෙම්වතුන් විදියට රඟපාන්න සිදුවුණොත්?
කිසි ප්‍රශ්නයක් නෑ. රඟපානවා.

උපත් පාලන පෙති රැගෙන කාමරවලට රිංගන සිසු සිසුවියෝ

අපේ රටේ යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කාලයකට පෙර අපූරු කථාවක් කළේය. එය දේශපාලන කථාවක් නම් නොව, ව්‍යවහාර භාෂාවෙන් සඳහන් කළහොත් ‘බොක්කෙන්ම’ කළ කථාවකි. ඒ වෙන කිසිවක් ගැන නොව මෙරට යෞවන යෞවනියන්ට අද මුහුණදෙන්නට වී ඇති ‍පොදු ගැටලුවක් ගැනය. එකී ගැටලුව වන්නේ යෞවන යෞවනියන්ට පෙම් සුව විඳින්නට නිදහස් ස්ථාන රටේ නොමැතිවීමේ අඩුවයි.  
“දැනට අවුරුදු දෙකහමාරකට විතර ඉස්සර මාතර බිච් එකේ හිටපු තරුණ ජෝඩු අසූවක් විතර ‍පොලීසියට අරගෙන ඇවිත් තිබුණා. එයාල කරල තිබුණු වරද තමයි බිච් එකේ බංකුවක් උඩ නැත්නම් අරලිය ගහක් යට, කුඩයක් යට පෙම්බස් කථා කරමින් සිටීම. වැඩිම වුණොත් මූණ සිපගන්න ඇති. ඒ කියල ඒ අය නිරුවතින් හිටියේ නැහැ. ‍පොලීසියට අරගෙන ඇවිල්ල, අම්ම තාත්තවත් ‍පොලීසියට ගෙනල්ල අර දරුවන්ගේ පෞරුෂය මුළුමනින්ම කඩල දානවා. එදා මාතරදී ‍පොලීසියට අල්ලන් ආපු ජෝඩු අතර හිටියා ඊළඟ සතියේ විවාහ වෙන්න හිටපු ජෝඩුවකුත්. ඒ අය බිච් එකට ඇවිත් බංකුවක් උඩ ඉඳගෙන අයිස්ක්‍රීම් කමින් ඉන්නකොටයි ‍පොලීසිය අල්ලන් ගිහින් තිබුණේ.”
ඩලස් අලහප්පෙරුම මහතා යෞවන කටයුතු ඇමැතිවරයා වශයෙන් මේ කථාව කියන්නට වූයේ දකුණු පළාත්භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ද උපදෙස් ඇතිව මාතර කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ‍පොලිස් නිලධාරීන් එක්ව සංවිධානය කළා වූ මාධ්‍ය හමුවකදීය. මාධ්‍ය ලෝකයේ දැවැන්තයන්ගේද සහභාගිත්වයෙන් පැවැති එම හමුවේදී ඩලස් ඇමැතිවරයා සඳහන් කරන්නට වූයේ මේ ආකාරයට යෞවන යෞවනියන් ‍පොලීසිය විසින් කුදලාගෙන යනවිට “ප්‍රේම කරන්න එපා කියලද මේ කියන්නේ?” යැයි මේ රටේ යෞවන කටයුතු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවය.
“මානව සමාජයේ පැවැත්මට ප්‍රේමය අවශ්‍යයි. තරුණ තරුණියන්ට ප්‍රේම කරන්න තැන් හදන්නේ නැත්තේ ඇයි කියල යෞවන කටයුතු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි” යැයිද ඇමැතිවරයා එහිදී අවධාරණය කරන්නට වූයේ ඒ ගැන එතෙක් කිසිදු යෞවනයෙකු ඔහුගෙන් ප්‍රශ්නකර නැති නිසා විය යුතුය
යෞවන යෞවනියන්ට පෙම් කරන්නට තැනක් අවශ්‍ය බව යෞවන කටයුතු ඇමැතිවරයාට එම ඇමැතිකම ලැබි වසර කිහිපයකට පසුවවත් එසේ  මතක් වීම යෞවන යෞවනියන් ලද භාග්‍යයක්. හැබැයි යෞවන යෞවනියන්ට පෙම් කරන්නට තැනක් අවශ්‍ය බව මතක් වූවත් ඔවුන් වෙනුවෙන් තවමත් යමක් ප්‍රායෝගිකව කර ඇති බවක් නම් පෙනෙන්නට නැත.
පෙම්වතුන්ට පෙම් උයන් නොමැතිකමේත්, මුහුදු වෙරළ වැනි ස්ථානවල පෙම්වතුන්ට පෙම්බස් දොඩන්නට ඇති නිදහස ඇහිරී යාමේත් ප්‍රතිඵලය වන්නේ වෙන කිසිවක් නොව, තරුණ පෙම්වතුන් හෝටල් සහ ලැගුම්හල් කාමර වෙත ඇදී යන්නට පෙළඹීමය. ඒ බව ඩලස් ඇමැතිවරයාද පිළිගන්නා කරුණකි.
“ගාලු පාරේ මාතර කියල ලොකු අකුරෙන් නම තිබෙනවා. ඊට වඩා ලොකු අකුරෙන් තියෙන්නේ මොකක්ද?, කාමරයක් රුපියල් 400 යි, 500 යි කියල. 400ක් දීල යන්නෙ නැති අයයි අර ‍පොලීසිය අල්ලන් යන්නේ. 400 දීල යන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ.” ඇමැතිවරයා මේ බව පවසන්නේ “මේ රටේ ආණ්ඩුවේ, විපක්ෂයේ දේශපාලනඥයන්ගේ දරුවන්ට ඒ ප්‍රශ්න නැහැ. උන් එළිවෙනකම් ක්ලබ්වල.”යැයිද අවධාරණය කරමිනි.
මෙරට යෞවන යෞවනියන්ට පෙම් සුව විඳින්නට පෙම් උයන් නොමැතිකම රටේ ලොකුම ප්‍රශ්නයදැයි මෙහිදී යමෙකුට සිතිය හැකිය. ඒ බව නොපෙණුනාට දැන් රටේ ඇති ලොකුම ප්‍රශ්නවලින් එකක් බවට පත්ව තිබෙන බාල වයස්කාර ස්ත්‍රී දූෂණවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙවැනි ගැටලුය. ඒ පෙම් සුව විඳින්නට සුදුසු තැනක් නොමැතිකමින් පෙම්වතුන් හෝටල් කාමරවලට වැදී පෙම් සුව විඳින්නට ගොස් අවසානයේදී තරුණියන් පතිවත පවා අහිමිකරගන්නා බැවිනි.
ගම්පහ නගරයේ ඇති ෆාමසිවල  විකිණෙන උපත්පාලන ඖෂධවලින් සහ උපකරණවලින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන සිසු සිසුවියන් බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා විසින් පසුගියදා කරන ලද හෙළිදරව්වද බැඳී ඇත්තේ පෙම්වතුන් පෙම් කරන්නට හෝටල් කාමරවලට රිංගීමේ කාරණයත් සමගිනි. ඔහු කියන්නේ වැඩි වශයෙන් එම ඹෟෂධ මිලදී ගන්නේ ගම්පහ ටියුෂන් පන්තිවලට පැමිණෙන සිසුන් බවය.
උපත් පාලන ඖෂධ පාසල් සිසුන්ට කොහෙත්ම අවශ්‍ය ඖෂධයක් නොවන බව පැහැදිලිය. නමුත් වැඩි වශයෙන් එම ඖෂධ සිසුන්ම මිලදී ගන්නේ නම් ඇත්තේ සමාජ සෝදාපාළුවක ලක්ෂණයක් මිස වෙන කිසිවක් නොවේ.
ගම්පහ යනු මෙරට ඇති ප්‍රමුඛතම ටියුෂන් පුරවරවලින් එකකි. රටේ නන් දෙසින් මේ පුරවරයට සිසු සිසුවියෝ පැමිණෙති. එක් සති අන්තයකට මෙහි ඇදී එන සිසු සිසුවියන් ගණනය කළ හැකිවන්නේ දස දහස් ගණනිනි. ඒ තරමට සති අන්තයේ ගම්පහ නගරය සිසුන්ගෙන් පිරෙනු ඇත.
නමුත් ඒ කිසිදු ටියුෂන් ගුරුවරයෙකුු තමන්ගේ ටියුෂන් පන්තියට පැමිණෙන සිසු සිසුවියන් කුමක් කරන්නේදැයි සොයා බලන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මඩිය තරකර ගැනීම පමණි. ටියුෂන් පැමිණෙන සිසු දරුවන් උපත් පාලන
ඖෂධද රැගෙන සිය පෙම්වතියන් සමග හෝටල් කාමරවලට රිංගන්නට යන්නට එයද එක් හේතුවකි.
 “ආරක්ෂිත, සුව පහසු කාමර ඇත.”යනුවෙන් අඩියක් අඩියක් ගානේ  නවාතැන් ‍පොළවල බෝඩ් ලෑලි ගම්පහ නගරය සහ ඒ අවට දක්නට තිබේ. ඒ ඇතැම් නවාතැන් ‍පොළවල කාමරවලට පෙම්වතුන් යනවා යැයි කියන්නේ ජෝඩු දෙක තුන එකටය. ඒ කාමරය හවු‍ලේ බෙදාහදාගෙනය.
මෙරට ප්‍රමුඛතම ටියුෂන් පුරවරයක් වන නුගේගොඩද මේ තත්ත්වයේ වෙනසක් නැති තරම්ය. හැබැයි ආරක්ෂිත සුව පහසු කාමර ඇතැයි ලොකු අකුරේ බෝඩ් කෑලි නුගේගොඩ නැත. ඒ යැයි කියා නවාතැන්‍පොළවල් නැතුවා නොවේ. නවාතැන්‍පොළවල් ඇති තැන්වල බෝඩ් නැති වූවාට ටියුෂන් පැමිණෙන සිසුහු ඒ තැන් ගැන හොඳ හැටි දනිති. ඒ පුරුද්දක් ලෙස ඇතැම්  සිසුන් පෙම්වතියන්ද සමග කාමරවලට රිංගන බැවිනි.
“ඔය කියන තත්ත්වය දරුණුවට තිබ්බ තව තැනක් තමයි කුරුණෑගල. හැබැයි ඒ දැනට අවුරුදු දෙක තුනකට ඉස්සරින්.”මේ කථාව කියන්නේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාය.
ඔහු පවසන්නේ කුරුණෑගලට ටියුෂන් සඳහා ත්‍රිකූණාමලයෙන් මෙන්ම වැලිකන්ද පැත්තෙන්ද සිසු සිසුවියන් පැමිණෙන බවය. එසේ කුරුණෑගලට සතියකට ටියුෂන් සඳහා 35,000ක පමණ සිසුන් පිරිසක් පැමිණෙන බව වංශනාථ මහතා පවසයි.
“මේ ළමයි හෝටල් කාමරවලට රිංගීමට හේතු කාරණා කිහිපයක් බලපෑව. හෝටල් සෝදිසි කරමින් හෝටල්වලට සිසු සිසුවියන් රිංගීම අඩපණ කරන ගමන් ඒ ළමයි හෝටල් කාමරවලට යන්නේ ඇයි දැයි සොයා බලා ඊට පිළියම් හොයන්න ගත්තා. එහිදී තමයි අපිට පෙනී ගියේ එක් පන්තියක් අවසන් වෙලා ඊළග පන්තිය පටන් ගන්න පැය දෙක තුනක් තිබෙනවනම් ළමයින් අනාරක්ෂිතවන බව. ඒ කාලයේ කුරුණෑගල වැව රවුමේ සහ ඇතුගල ආදී ස්ථානවල පෙම්වතුන්ට ගැවසීම තහනම්කර තිබුණා. ඒ තහනම දැම්මේ ඇයිදැයි කියල දන්නේ නැහැ. ටියුෂන් පැමිණෙන සිසුන් බොහෝ දෙනෙක් පෙම්වතුන් බවට පත්වන්නේ ඉබේටමයි. ඒ අයට චිත්‍රපට ශාලාවකට යන්න බැරිනම්, වැව රවුමේ සිටින්නට බැරිනම්, ඇතුගලට යන්නට බැරිනම් යන්න තිබෙන්නේ හෝටල් කාමරයකටයි. අපි කල්පනා කළා ඒ පැය කිහිපය ඒ ළමයින්ට ආරක්ෂිතව රැඳෙන්නට හැකි උයනක් ඇති කරන්න. ඒ අනුව අපිට හැකි උනා නගරාධිපතිවරයා සමග කථාබහකර නගරයේ ඇති උයනක් ඒ අය වෙනුවෙන් වෙන් කරන්න. ඒ එක්කම එම උයන වටා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පවා අපි දියත්කරලයි තිබෙන්නේ. ඒ එම දරුවන්ගේම ආරක්ෂාවට” අජිත් වංශනාථ මහතා පවසන ආකාරයට හෝටල් කාමරවලට රිංගන පාසල් සිසු පෙම්වතුන් පෙම් උයන්වල කොටුකරන්නට කුරුණෑගල ‍පොලිසිය කටයුතු කරන්නේ එසේය.
ඒත් සමගම වෙනත් අපචාර කල්ලිවලින්ද සිසු සිසුවියන් බේරා ගන්නට වැඩපිළිවෙළක් සකස්කරන්නටත් ඔහු අමතක කර නැත. කුරුණෑගල ෆාමසිවලින් උපත්පාලන ඖෂධ, මත් ඖෂධ ආදිය සිසුන්ට අලෙවි නොවන්නේත්, හෝටල් කාමරවලට සිසු සිසුවියන් වද්දා නොගන්නේත්, ඉන්ටර්නෙට් කැෆේවලට යන විට පාස‍ලේ සහතිකයක් ඉල්ලා සිටින්නේත් ඒ අනුවය.
වංශනාථ මහතා පවසන ආකාරයට පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබුණු කුරුණෑගල වැව රවුමට දැන් ඒ තහංචි නැත. වැව රවුමට පැමිණෙන පෙම්වතුන්ගේ ආරක්ෂාවට පාපැදිවල නැගුණු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පවා නිතර දෙවේ‍ලේ ගමන් ගනිති.
ලංකාවේ ඇති විශාලතම ටියුෂන් පුරවරයක් වන කුරුණෑගල තත්ත්වය එසේ වූවත් රටේ සෙසු ටියුෂන් පුරවල තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. අද වනවිට රටේ කාමර කුලියට දෙන නවාතැන් හතු පිපෙන්නා සේ බිහිවී ඇත්නම් ඒ ටියුෂන් පංති බහුලව ඇති ප්‍රදේශ ආශ්‍රිතව බව ‍පොලීසිය කියයි. කාමර කුලියට විකිණෙන්නේ පැය ගණන්වලටය. එපමණක් නොව, තිරරෙදි දමූ හෝ වීදුරු කළු කළ සුඛෝපභෝගී බස්රථ ඊළග ගමන් වාරයට කැඳවීම් ලැබෙන තුරු ටියුෂන් පෙම්වතුන්ට පෙම්සුව විඳින්නට ලබා දීමේ ජාවාරම්ද ඒ අතර තිබේ. කුරුණෑගල එදා එසේ බස් රථ පෙම්වතුන්ට කුලියට දී තිබුනේ එක් පෙම් යුවළකගෙන් රුපියල් 200 ගානේ අයකරගෙන බව වංශනාථ මහතා පවසයි. කාලයක් ගම්පහද ඒ තත්වය පැවතුණි. දැන් එය නැත්තේ ගම්පහ සුඛෝපභෝගී බස් සේවය නතරකර ඇති බැවිණි. දැනගන්නට ඇති ආකාරයට අනුව එදා පෙම්වතුන්ට පෙම්සුව විඳින්නට බස් රථය කුලියට දීමෙන් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථය ධාවනය කර උපයන මුදලට වඩා මුදලක් උපයා තිබුණේය. මේ තත්ත්වය ගම්පහට, කුරුණෑගලට, නුගේගොඩට පමණක් සීමා වූවක් නොව, මහා පරිමාණයෙන් ටියුෂන් පන්ති අරක්ගත් ගාල්ලටද, මාතරටද, මීගමුවටද,මහනුවරටද, රත්නපුරයටද, අනුරාධපුරයටද ‍පොදුය.
එබැවින් අනාගතයේ ජාතික ව්‍යසනයක පෙරනිමිති කියාපාන ටියුෂන් සංස්කෘතියත් සමග ඇති වෙමින් පවතින උප සංස්කෘතියට කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ‍පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ මෙන් යම් වැඩ පිළිවෙළක් ජාතික වශයෙන් මුළු රටම ආවරණය වන පරිදි ඇති නොවුණහොත් ඇතැම් බටහිර රටවල මෙන් මෙරට පාසල්වලද වැඩිකල් නොගොස් බාලවයස්කාර ගැබිනියන් සුලබ දසුනක් වනු ඇත.

නිළියක් වෙන්නට ගිය රූමත් යුවතිය ලක්ෂ ගණනකුත් අහිමිකරගෙන දරුගැබකුත් සමග අතරමං වෙයි

chethanaමේ කතාවේ පළමුවැනියා නයෝමිය. ජීවිතය ජයගන්නට ඇය තෝරා ගත්තේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයයි. ඇයට ඒ මාර්ගය විවර විය. ඒ අනුව ටෙලි නාට්‍ය කීපයක හා රූප රචනා කළ ගීත කිහිපයකට පෙනී සිටීමේ වරම ඇයට ලැබුණි. එහෙත් දැන් ඇය අප්පෙක් නැති දරුවෙකු බිහි කිරීමේ අරමුණින් කල් ගෙවන්නීය. ඒ නිළියක වන්නට ගිය ඇය, චීවරධාරියෙකු ලෙස පෙනී සිටි නරුමයෙකුට රැවටුණු නිසාය.
නිළියක වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් දෙවැන්නා චේතනාය. ඇයත් නයෝමි සේම රැවටිලිකාරයෙකුට හසු වූවාය. ඒ චිත්‍රපට  නිෂ්පාදකවරයෙකුටය.
මේ කතන්දර දෙකටම සම්බන්ධ නඩු දැන් උසාවිය හමුවේ විභාග වෙමින්  පවතී. ඒ නිසාම නයෝමිත් , චේතනාත් මුහුණ දුන් අත්දැකීම් අප ඔබට කියන්නේ එම නීති රාමුව තුළ සිටිමින්ය.
නයෝමි සුරූපිනියකි. අප මුලින් පැවසූ පරිදි ඇය ටෙලි නාට්‍ය පහක සහ රූප රචනා කළ ගීත මෙන්ම වෙළෙඳ දැන්වීම්වලද පෙනී සිටියාය.
මුල් විවාහයේ දරුවෙකු සමග තනිවී සිටි ඇය නිළියක් වන්නට සිතුවේ  ඒ විනාශ වී ගිය අතීතයට වඩා වර්තමානය සහ අනාගතය යහපත් කර ගැනීමට  වුවමනා වූ නිසාය.
මට පැහැදිලිව පෙනුණා ඒ ගමන හොඳ වෙන බව. මම මගේ අම්මාවත් කැමති කරවාගෙන  ඒ ගමන ඇරඹුවා. ඒත් බොරුකාරයෙකු නිසා මගේ ජීවිතේ විනාශ වුණා.
නයෝමි පදිංචිව සිටියේ තලවතුගොඩ කිට්ටුව නිවසකය. මව සමග තනිව ජීවත් වූ  ඇයගේ නිවසට වරක් චීවරධාරියෙකු ලෙස පෙනී සිටින මේ කපටි පුද්ගලයා පැමිණෙන්නේ පින්කමක් වෙනුවෙන් කතිකාවක් ඇතිකර ගැනීමටය.
කෙසේ හෝ මේ කතා බහ අවසන්  වන්නේ නයෝමිගේ රංගන ජීවිතයත්, ඇගේ හැකියාවන් ගැනත් අදාළ චීවරධාරියා  පවත්වන අපූරු කතා බහකින් පසුවය.
මේ පුද්ගලයා  මගේ ජීවිතය සාර්ථක  කරන්න ඕනම උදව්වක් කරන බව පුන පුනා කිව්වා. මාව අගය කළා. ඇත්තටම මට එයින් ලැබුණේ පුදුමාකාර සතුටක්..
ඒ විතරක් නමෛයි, බොහෝ  අවස්ථාවල මේ තැනැත්තා මගේ ජංගම  දුරකථනයට පවා කතා කොට මගේ හැකියාවන් සහ අනාගතය ගැන කතා කළා...... අවවාද අනුශාසනා කළා... ඒ නිසා මට සැකයක්  ඇති වුණේම නැහැ..
කාලය මේ අයුරින් ගෙවී ගියේය.  තවත් අවස්ථාවකදී  චීවරධාරියා කීවේ  තමන්ට දැන් මේ ජීවිතය එපා වී ඇති බවකි.
මට ආසයි විවාහයක් කරගෙන , දරුවෝ  හදාගෙන  ඉන්න.. ඒකට මට හොඳ  කෙනෙක් ඕනෑ ...
දේවාලයකට ගොස් සරණ පැතීමට යන   බොහෝ බැතිමතුන් එහි සිටින අතවැසියන් ගැන පවා  සිතන්නේ  ඔවුන් දෙවියන්ගේ මිනිසුන් ලෙස සලකාය. නයෝමි පත් වුණෙත් ඒ තත්ත්වයටමය.
අන්තිමට මේ මනුස්සයා මට විවාහ යෝජනාවක් ගෙන ආවා. මට විරුද්ධ වෙන්න තරම් වටපිටාවක් හෝ සාධාරණ හේතුවක් නොතිබුණේ ඔහු සියලු බැමි වලින්  මිදී මවෙතට එන බව කියූ නිසා...... පැවසූ පරිද්දෙන්ම ඔහු සියලු බැමි වලින් නිදහස් වී නයෝමි වෙත ආවේය. නමුත් හොර රහසේය.
සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා එනතුරු හොරෙන් හමුවෙමු කිව්වා. අන්තිමට එකට ගමන් බිමන් ගියා. මා ළඟ තිබුණු මුදල් පවා ගත්තා...
මේ සියලු දේ වෙද්දී  නයෝමිගේ මව විදෙස් ගත වී සිටියාය. ඇය සේවය කළේ ඉතාලියේය.
ඒ වෙද්දි අම්මා එවපු ලක්ෂ  ගණනක් මා ළඟ තිබුණා.... ඒ සල්ලිවලින් මෙයා වාහනයක් පවා ගත්තා...
කෙසේ හෝ අවසානයේ දී මේ පුද්ගලයා නයෝමිව මග හරින්නට පටන් ගත්තේ ඇගේ කුසට දරු ගැබක් ආ  ආරංචියත් සමගයි.
මේ ආරංචියත් එක්ක ඔහු මාව මග හරින්න  පටන් ගත්තා. මගේ රංගන ජීවිතයට උදව් කරලා මාව කසාද බඳිනවා කිව්ව කෙනා එදා ඉඳලා හොයා ගන්නත් බැරි වෙන තැනකට ආවා...
නයෝමි රැවැට්ටූ මේ පුද්ගලයා අද සමාජය තුළ දැනුම් තේරුම් ඇති බොහෝ පිරිසක් ඇසුරු කරන කෙනෙකි. වැදගත් කෙනෙකු ලෙස ජීවත් වූ චරිතයකි.
දැන් මම මට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නයට මෙයාගේ නම ඉල්ලලා නඩු දාලා තියෙනවා.  මාව ද්වේශ සහගත විදිහට රැවටූ  එකත් එක කාරණයක්.  අනික මගෙන්  ගත්ත ලක්ෂ ගාණක මුදල්...
මට මේ මනුස්සයා වැඩක් නැහැ. ඒත් මගෙන් ගත් දේවල් ඕන. මෙයා කියනවා එයා දරුවගේ තාත්තා නමෛයි කියලා... මම අභියෝග  කරන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරලා  හරි දරුවාගේ තාත්තා මෙයා කියලා  ඔප්පු කරන්න මම සූදානම් කියලයි...
නිළියක් වන්නට ගිය නයෝමි තම ජීවිතය විනාශ කර ගත්තේ කිසිදා නොසිතූ නොපැතූ රැවටීමකට හසු වූ නිසාය.
චේතනාගේ කතන්දරය ඊටත් වඩා වෙනස්ය.
ඇය තාත්තා නැති දුප්පත්  ගෑනු ළමයෙකි. ප්‍රියමනාප බව නිසාම ඇයටත් වුවමනා වූයේ නිළියක් වන්නටය.
චේතනා ඒ අරමුණ ඇතිව  චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හමුවට  යන්නේ අතරමැදියෙකුගේ උදව් උපකාර  ලබාගෙනය.
තමාගේ පියා හා සමාන එසේත් නැත්නම් ඊටත්  වඩා වයසින් වැඩි මේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයා මුලින්ම චේතනාට උදව් කරන්නේ පියෙකු ලෙසය.
ඇත්තටම කියනවා නම් මා සම්බන්ධව බොහෝ දේවල් පවා කතා කළේ මගේ අම්මා එක්ක. ඒ තරමටම ඔහු ඉතා  හොඳ කෙනෙකු ලෙස මුලදි හැසිරුණා...
මේ හැසිරීම නිසාම චේතනා අදාළ චිත්‍රපට නිෂ්පාදකවරයා ගැන කිසිදු සැකයක්  ඇති කර ගත්තේ නැත. ඔහු මට ඔහුගේ කාර්යාලයේ රැකියාවක්  පවා දුන්නා. මට තිබුණේ ‍ලේකම්වරියක් ලෙස වැඩ කරන්නයි.  කෙසේ හෝ  මේ කාලය තුළ දී චේතනා නැගී එන නිළියක් ලෙසින් නිර්මාණ කීපයකටත් දායක වූවාය.
තරුණ ගෑනු ළමයින් ජීවත් වන්නේ හීන ගොඩත් ඇතිවය. ඇතැම් විට ඒ හීන  ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ අවට වටපිටාව ගැන අල්ප මාත්‍රයක  දැනුමක් නැතිවය.
චේතනා මුහුණ දුන්නේත් එවැනිම අත්දැකීමකටය. ඔහු මට හුඟාක් හිතවත් වුණා. ගමන් බිමන් යන්න පවා කතා කළා.
කාලය මේ අයුරින් ගෙවී යද්දි තවත් දිනෙක  චේතනා අසනීප වූවාය. ඇය බලවත් හිස රුදාවකට මුහුණ දී කාර්යාලයේ තිබූ මේසය මත හිස ඔබාගෙන සිටියාය.
ඔළුව රිදෙනවද? ආ........... බොන්න මේක එතකොට හරියාවි .........
චේතනා කිසිදු චකිතයකින් තොරව ඒ බෙහෙත බිවේ අදාළ පුද්ගලයා පිළිබඳ තිබූ විශ්වාසය මතය.
ඉන්පස්සේ මට නින්ද ගිහින්. නැගිටලා බලද්දි මගේ ඇඟේ ඇඳුම් මොනවත්ම තිබුණේ නැහැ. ඒ වගේම කාර්යාලයේ කවුරුත් ඒ වෙලාවේ හිටියෙත් නැහැ.
චේතනා මේ පිළිබඳව ඇඬු කඳුළින් ප්‍රශ්න කරද්දී අදාළ පුද්ගලයා ප්‍රකාශ කළේ තමන්ට තමන්ව පාලනය කර ගැනීමට නොහැකි වූවා යැයි කියාය.
කෙසේ හෝ මේ සිදුවීම කිසිවෙකුට නොකියන ලෙසින්ද ඔහු චේතනාට බලකර කියා සිටියේ එසේ වුවහොත්  සිදු විය හැකි අයහපත ගැන තර්ජනය කරමිනි.
චේතනා මේ සිදුවීම සිය මවට පවා නොකීවේ මේ නිසාය. එහෙත් පසුදා ඇයගේ  මව චේතනා පත් වී තිබෙන තත්ත්වය දැනගත්තේ ඇගේ  සිරුරේ තිබූ සීරීම් තුවාල ගැන එක දිගට ප්‍රශ්න  කිරීමෙනි.
කෙසේ හෝ මේ සිදුවීම් වලින් පසුව අදාළ චිත්‍රපට නිෂ්පාදකවරයා හමු වී මේ පිළිබඳ ප්‍රශ්න කරන්නටද ඇගේ මව සිතා ගත්තාය.
ඒත් අපි හිතුවට වඩා තත්ත්වය නරක අතට හැරුණා. ඔහු කීවේ  මේ ගැන කාටවත්ම කියලා තිබුණොත්, බොහෝ ගැටලු ඇතිවෙන්න ඉඩ තිබෙනවා  කියලා. යම් යම් බලවතුන්ගේ නම් කියලා ඔවුන් නිසා තමන්ට බේරෙන්නට පුළුවන් බවත් , දියණියගේ ජීවිතයට නරකක් වෙන්න ඉඩ තිබෙන බවත් කියලා අන්තිමට අපට තර්ජනය කළා.  එසේ කීවේ චේතනාගේ මවය.
බලවතුන් සමග හැප්පෙන්නට ගොස් ජීවිතය පවා නැති වීමට ඉඩ තිබෙන බව වටහා ගත් චේතනා හා ඇගේ මව අවසානයේ දී අසරණ වී බලා සිටියේ කර කියා ගන්නට කිසිවක් නැතිවය.
මේ කාලය තුළ දී චේතනා බෙහෙවින් රෝගාතුර වන්නේ කිසිවෙකු නොසිතූ ලෙසය. ඇයගේ එක් අතක් සහ පාදයක් අප්‍රාණික වී ඇවිදින්නට පවා නොහැකිව සුසුම් හෙලන්නේ මේ අපරාධයට වග කිව යුතු අයට ශාප කරමිනි. මේ කාලයේ අපි මොනවද කරන්නේ. කියලා ඔත්තු බලන්න පවා මිනිසුන් දාලා හිටියා. පාතාල  ලෝකයෙන් කියලා ඇවිත් තර්ජනය කළා. දුවව පැහැර ගන්න පවා ආවා.
කෙසේ හෝ මේ සිදුවීම් පෙළින් පසු චේතනාගේ මව නීතිය ඉදිරියට ගියාය. එහෙත් මුල් කාලයේ දී තම බල ප්‍රදේශයට අයත්  ‍පොලීසිය  පවා මේ පැමිණිල්ල බාර ගැනීමට මැලි වූ බව ඇය කියන්නීය.
අන්තිමට අපි ඉහළටම ගියා. ගිහින්  මේ සම්බන්ධව නීති මගින් කටයුතු කරන්න පටන් ගත්තා. දැන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරන්. දැන් අපි බලා‍පොරොත්තු වෙන්නේ සාධාරණත්වය. මගේ දුව තවම ලෙඩින්. ඇයගේ අත පය තවමත් අප්‍රාණික  වෙනවා. හිටපු ගමන් එක් තැන් වෙනවා. දොඩවනවා. දැඩි බියකින් පසු වෙනවා. චේතනාගේ මව වැඩිදුරටත් කීවාය.
ජනප්‍රිය නිළියක වන්නට ගිය චේතනාගේ ඉරණම අද විසඳී ඇත්තේ ඒ අයුරිනි.
අප වෙසෙන සමාජය තුළ ජීවත් වන සියල්ලන් සැදැහැවතුන්  නොවේ. දාමරික  අධමයින්ද නොවේ. මේ කොටස් දෙකටම අයිති මිනිස්සු  ජීවත් වෙති.  එය සිනමා හෝ ටෙලි  නාට්‍ය ක්‍ෂේත්‍රයට  පමණක් සීමා  වූවක්  නොවේ. සියලු ක්‍ෂේත්‍රවලට ‍පොදු වූ දෙයකි.
මේ නිසාම සමාජය  තුළ සිටින මිනිසුන් හඳුනාගෙන ජීවත් වීම හැර වෙනත් විකල්පයක් අපට නැත. විශ්වාසය තුළ අන්ධ නොවීමට අප වග බලාගත යුතුය.