Saturday, June 29, 2013

මගේ පෙම්වතිය කා‍ලේ එයා නිළියක් ‍නෙවෙයි දැන් එයා නිළියක්, ඒත් මගේ පෙම්වතිය ‍නෙවෙයි

Dasunජනප්‍රිය යොවුන් නළු දසුන් පතිරණ
සම්මත නළුවකුගේ බාහිර පෙනුමට අභියෝග කරමින් රංගනය ජයගත් නළු නිළියෝ අප රටේ කලා ක්‍ෂේත්‍රයේ සේම ජාත්‍යන්තරය තුළද වෙති. එවන් මගකට පිවිස සිය රංගනය තුළ වූ අපූර්වත්වයෙන් ජනප්‍රියත්වය කරා පියනගන රංගන ශිල්පියකු මෙවර රැජින කතාබහට එකතු කරගන්නට අපි සිතුවෙමු. දසුන් පතිරණ නම් මේ යොවුන් නළුවා මේ දිනවල විකාශය වන “ඒ ලෙවල් ඉවරයි” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එයි.
දසුන් සාමාන්‍ය ජීවිතයදීත් “ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේද ?

“ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේ චරිත මට සාමාන්‍ය ජීවිතයෙදිත් හමුවෙලා තියෙනවා. ඒ චරිතය සංගීතයම අරමුණු කරගෙන ජීවත්වන ගැටවර චරිතයක්. මමත් සරලව සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. මමත් හොඳ නළුවකු වෙනවාමයි කියන අරමුණින් යන කෙනෙක්.
නළුවකු වනවාමයි කියන අරමුණට ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
බොරු කියන්නේ මොකටද? ගෙදර තුළදී කවදාවත් මට “හොඳ ළමයා” කියන නම ලැබිලා නැහැ. පාසල තුළදිත් මට කවමදාවත් “හොඳ ශිෂ්‍යයා” කියන ප්‍රතිරූපය ලැබිලත් නැහැ. දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඇති පදමට ගුටිකන බැණුම් අහපු කෙනෙක් තමයි මම. ඒ විදියේ පසුබිමක නළුවකු වීමට දඟලද්දී දෙමවුපියන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්න විදියක් නැහැනේ. අම්මලට ඕන වුණේ මම ටයි එකක් දාගෙන කරන හොඳ රැකියාවක ඉන්නවා දකින්න. නමුත් ඒ අරමුණ ඉටුකර ගන්න ඒ අයට බැරි වුණා.
නමුත් අද ?
මං දන්නවා අද නම් ඒ අයට මං ගැන ටිකක් හරි සතුටු වෙන්න පුළුවන් බව.
නළුවකු වෙන්න හිතද්දී දසුන්ට නළු පෙනුම ගැන හිතුණෙ නැද්ද ?
මොකද නැත්තේ හිතුණා. මට නළු පෙනුමක් නැති බවත් මං දැන හිටියා. මම අඩි පහයි, අඟල් හතරක් උස කෙනෙක්. මුලදී නළුකම ගැන ආශාවක් තිබුණත් මට නළුවකු වන්න පුළුවන් කියන අදහස තදින්ම හිතට වැදුණේ මහේන්ද්‍ර අයියගෙ (මහේන්ද්‍ර පෙරේරා) වැඩමුළුවලට ගියාට පස්සේ. මහේන්ද්‍ර අයියටත් ඔය කියන නළු පෙනුම නෑ. ඒත් ඔහු අද අපට සිටින අති දක්ෂ නළුවෙක්. නළු පෙනුම නැතත් මට නළුවකු වෙන්න පුළුවන් කියන අදහස හිතට වැටුණම නළු පෙනුම ගැන තිබූ චකිතය ඉබේම නැතිවෙලා ගියා.
චරිතාංග රංගනයෙන් ගුණාත්මක නිර්මාණවලට දායක වන අය තරුවලටයි සරල විනෝදාත්මක නිර්මාණවලටයි දිගට හරහට දෙහි කපනවා.
මම නම් ඒ විදිහට බණින්නෙ නැහැ. සම්භාව්‍ය නිර්මාණ පෙන්වන්න සිනමාව කර්මාන්තයක් විදියට තිබිය යුතුයි. ඒ සඳහා දායක වන්නේ වාණිජ චිත්‍රපට. ඒ වගේම ‘තරු’ ත් අවශ්‍යයි.
Dasun1එහෙනම් ඔබ අගය කරන තරු ගැනත් කියන්න.

ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග දක්ෂ රංගන ශිල්පීන් විදිහට වගේම තරු ලෙසත්
ඉහළින්ම බැබලුණා. විශේෂයෙන් විජය කුමාරතුංග වැඩිපුරම ඉස්මතු වුණේ තරුවක් විදියට.
ඔබේ පරපුරේ අයගේ නම් කියන්න මැලි වන්නේ ඇයි ?
මගෙ පරපුරේ විතරක් නමෛයි මෑත කාලය පුරාම බිහිවූ නළුවන් අතර කඩවසම් අය සිටියා. ජනප්‍රිය චරිතත් තිබුණා. ඒත් මම හිතන විදියට අර මුලින් කී අය තරම් රසිකයන් අතර උන්මාදයක් ඇති කරවන අය ඒ අතර හිටියේ නැහැ.
ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ “මං ගමේ කොල්ලො” ගීතය ජනප්‍රියයි. ඔබටත් ඒ තුළින් තරුවක් වන්න පුළුවනි ....
ඒ ගීතය දැන් ජනප්‍රියයි තමයි. මට ගීත ගයන්න බැහැ. ඒත් ඒ ගීතයට මා රැඟූ රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
නමුත් දසුන්ට ඒ ගීතය නිසාම සංදර්ශන වේදිකාව හරහා තරුවක් වෙන්න වුණත් ඉදිරියේදී පුළුවන් වේවි ....
අද රටේ ඒ වගේ දේවල් වෙනවා තමයි. ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ. මට ආරාධනා ලැබුණොත් මම ඔය ගීතය ගායනා කරන “ලහිරු ප්‍රමූ පෙරේරා”ට ඒ අවස්ථාව ලබා දෙනවා. මම කරන්නේ ඒ ගායනයට අනුව අභිනය දැක්වීමක් විතරයි.
දසුන් සැබෑ ජීවිතේදීත් ගමේ කොල්ලෙක්ද ?
නැහැ. මම ඉපදුණේ. හැදුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ සේරම කොළඹ. මගේ පදිංචිය මරදානෙ. ඉගෙන ගත්තේ කේරි විදුහ‍ලේ.
දසුන්ගේ පවුල් පසුබිම ගැන කතා කළොත් ....
මට නංගි කෙනෙක් ඉන්නවා. තාත්තාට හෝටලයක් තියෙනවා. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.
 “ඒ ලෙවල් ඉවරයි“ ඔබේ පෙම්වතිය ඔබට වඩා වයසින් වැඩි සුදු ජාතික කාන්තාවක්
ඇගේ නම මර්සෙලා. ඇය නෙදර්ලන්ත කාන්තාවක්. ඉඳහිට ලංකාවට ඇවිත් යනවා. ඒ අතර විවිධ නිර්මාණවලට එකතු වුණා. මේ නිර්මාණය තුළදී ඇය සමග රඟපෑම මට අලුත් අත්දැකීමක් වුණා.
සැබෑ ජීවිතයේදී දසුන්ට පෙම්වතියක් ඉන්නවද ?
ඔව්.
ඇය නිළියක්ද ?
නැහැ.
අපට නම් ආරංචි නව පරපුරේ ජනප්‍රියතම නිළියක් දසුන්ගේ පෙම්වතිය බවයි
ඔය කියන කෙනා මගේ පෙම්වතිය වෙලා හිටිය කාලෙ නිළියක් නමෛයි. දැන් ඇය නිළියක්. ඒත් මගෙ පෙම්වතිය නමෛයි.
එකටම කලා ලෝකයට පිවිසිලා ටික දුරක් මේ විදියට යද්දී සම්බන්ධකම් බිඳිලා යන්නෙ ඇයි ?
අදහස් නොගැළපීම් හින්දා වෙන්වීම් සිදුවනවා.
ඇය අද තම දක්ෂතා සිනමාවටත් ගෙන ගිහින්. ඇය දසුන්ව අභිබවා යද්දී ඇතිවූ ඊර්ෂ්‍යාවටද සම්බන්ධය නතර කර දැම්මේ ?
නැහැ. නැහැ. ඇත්තටම මමත් ඇගේ දස්කම් අගය කරනවා. අපේ පරපුරේ ඉදිරියෙන්ම සිටින නිළියන් අතර ඇය ඉන්නවා. ඇයට ඊර්ෂ්‍යා කරන්න හේතුවක් නැහැ. මමත් අද යම් ස්ථාවරයක ඉන්නවා. අනෙක අපි වෙන් වුණාට අදටත් හොඳ යාළුවෝ.
ඔය දෙන්නට නිර්මාණයකදී පෙම්වතුන් විදියට රඟපාන්න සිදුවුණොත්?
කිසි ප්‍රශ්නයක් නෑ. රඟපානවා.

0 comments: